April 29, 2024

"ජනපතිවරණය කල් දැමීමට ඉඩ දෙන්නේ නෑ" - මහින්ද Featured

ජනපතිවරණය කල් දැමීමට ඉඩ ලබානොදෙන බවත් ජනපතිවරණය ජයගත හැකි අපේක්ෂකයෙක් තෝරා ගන්නා බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

එසේම අධ්‍යාපනය, කලාව, සෞඛ්‍ය, ගමනාගමනය යනාදි සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.  

පානදුර ප්‍රදේශයේ හෝටලයකදී පැවැති නිදහස් කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කලාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදනවා.  කලාව පමණක් නොවෙයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය යනාදි සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ප්‍රතිපත්ති මාලාවක් හදන වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රට නිදහස් කර ගත්තට පස්සේ අවුරුදු දහයක් අපිට නිදහසේ ඉන්න පුළුවන්කම ලැබුණේ නැහැ. රට නිදහස් කරලා අවුරුදු දහයක් පිරෙන එකට මාසයකට පෙර බෝම්බ ප්‍රහාරයකින් මුළු රටම බයට පත් වුණා. අද අපි දුකෙන් පමණක් නොවෙයි බියෙනුත් ජීවත් වෙන්න වෙලා. මානව අයිතිය ගැන කතා කරමින් මානව හිමිකම් කොමිසම හමුවට ගිහින් බොරු චෝදනා ඉදිරිපත් කරන, රණවිරුවන්ට දඬුවම් කරන්න කතා කරන අය ඒ ගැන කතා කරන්නේ නැහැ. ජීවත් වීමේ අයිතිය පමණක් නොවෙයි ආගම ඇදහීමේ අයිතියත් අපෙන් උදුරාගෙන. පන්සලකට, පල්ලියකට, කෝවිලකට යන්න අද මිනිස්සු බයයි. වෙසක් පෝයත් අපෙන් උදුරා ගත්තා."

"පොසොන් පෝය හරියාකාරව සමර ගන්න ලැබුණේ නැහැ. වෙනදා දහස් ගාණක් සිල් ගන්න සිතුල්පව්වේ මේ වතාවේ සිය දෙනෙක් පමණ සිල් ගත්තා. ඒ තරමට ආගමික ස්ථානවලට එන්න මිනිස්සු බයයි. මේ ආණ්ඩුව ඒකට වගකියන්න ඕනේ. මේ ආණ්ඩුවේ තිබුණු දේශපාලන උවමනාව, ඡන්දය බලාපොරොත්තුවෙන් ඇස් කන් පියාගෙන සියලු දේ වෙන්නට ඉඩ හැරිම මේකට හේතු වුණා. අප්‍රේල් 04 වැනි දා මේක දැනගෙන 21 වැනි දා වෙනකම් මොනවද කළේ? මොන කමිටු දාලා අපහාස කළත් මේ සියලුදෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි. මේ තත්ත්වයෙන් රට මුදා ගත යුතුයි. මේ බිය නැති කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ මැතිවරණ කල්දැමීම නොව මැතිවරණ පැවැත්වීමයි. පළාත් සභා මැතිවරණය නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය නැහැ. ජනාධිපතිවරණය පමණයි තියෙන්නේ. ඒක කල් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ඒකට සූදානම් වෙනවා. ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ආදරය කරන, ජාතියට ආදරය කරන ප්‍රතිපත්තිගරුක කෙනෙක් අපේක්ෂකයා විදියට තෝරා ගන්න අපි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ”

Last modified on Thursday, 27 June 2019 15:10