May 14, 2024

"ගෝඨාගේ කාලේ වගේ ක්‍රියාත්මක විය යුතුයි" - හිටපු ඇමරිකන් තානාපති ක‌ොළඹ දී කියයි Featured

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර සහ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ක්‍රියාකල ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඉගැනීමට බොහෝ දේ ඇති බව ඇමරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති රොබට්’ඕ බ්ලේක් මහතා පවසයි. එමෙන්ම රටේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී ක්‍රියාකලාක් මෙන් ඉහළ මට්ටමේ තාක්ෂණික කණ්ඩායමක් ගොඩනගාගත යුතුව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

දැනට ඉන්දියාව සහ දකුණු ආසියාව සඳහා වූ මැක්ලර්ටි ඇසෝසියේට්ස් හි ජ්යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හිටපු තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ “චීනය සහ දකුණු ආසියාව කරා වන එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවට ඉන් වන බලපෑම” මැයෙන් පැවැති දේශනයකට සහභාගී වෙමිනි.

මෙය සංවිධානය කර තිබුණේ The Joint Apparel Association Forum Sri Lanka (JAAFSL) යන සංවිධානය සමග එක්ව the Pathfinder Foundation නම් සංවිධානයයි.

9/11 ප්‍රහාරය සමයේ එක්සත් ජනපදයට සිදු වූ විශාලතම අත්වැරැද්ද ලෙස බ්ලේක් මහතා පෙන්වාදෙන්නේ එෆ් බී අයි සහ සී අයි ඒ යනාදී බුද්ධි සහ නීති ක්‍රියාත්මක කරන ආයතන අතර විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් සිදු නොවීමයි.

“අන්තර් නියෝජිතායතන සන්නිවේදනය හා අන්ත්‍ර ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම උදෙසා ජනාධිපති බුෂ් විසින් නව කමිටුවක් සකස් කලා. එම කමිටුව සමන්විත වුනේ ජ්යෙෂ්ඨ බුද්ධි සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන්. ඔවුන් සතිපතා රැස්වෙලා වඩාත් වැදගත් දේවල් විශ්ලේෂණය කරලා අවශ්‍ය පියවර ක්ෂණිකව ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදා ඉඳලා අද වන තෙක් කිසිම ත්‍රස්ත ප්‍රහාරයක් සාර්ථක වුනේ නැහැ. අපිට විශාල වශයෙන් දේශීය ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණා, අල් කයිඩාවන්ට හැකියාවක් තිබ්බෙ නැහැ ආයෙත් පැරිස් සහ අනෙකුත් ප්‍රදේශවලවත්. අනික, ශ්‍රී ලංකාවෙත් එහෙම වැඩ පිලිවෙලක් තිබ්බා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ, ඔහු පුද්ගලිකව බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය සොයා බලා වැදගත් තොරතුරු රටේ ඉහළ දේශපාලන බලාධිකාරිය සමග බෙදාගත්තා. ආරක්ෂක ප්‍රධානීන් නිරන්තරයෙන් ඒ ගැන සැළකිලිමත් වුණා. ඉතිං මං හිතන්නේ වර්තමාන ආණ්ඩුවත් මේ ගැන සිතිය යුතුයි. ඒ වගේ ක්‍රමවේදයක් නැවත ස්ථාපිත කරගත යුතුයි.” යැයි ද බ්ලේක් මහතා පැවසීය.

Last modified on Wednesday, 08 May 2019 18:10