May 19, 2024

හරීන්ට ආණ්ඩුවෙන් ආරාධනාවක්

December 15, 2014

තම හිතවත් පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට ද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එකතු වී ජනතාව වෙනුවෙන් වැඩකළ හැකි තීන්දුවක් ගන්න යැයි තමන් විවෘත ව ආරාධනා කරන බවත් ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙවර ජනාධිපතිවරණය සඳහා සටන පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා හා හිටපු මහ ලේකම්වරයා අතර බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් නිවැරදි පුද්ගලයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තමන් තීරණය කළ බවත් කුට්ටිආරච්චි මහතා පැවසී ය.

"එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්‍රණය පැවතියේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා තුළයි. සිරිකොත සම්බන්ධ කරගනිමින් මැතිවරණ ක්‍රියාවලියක් සිදු වෙන්නේ නෑ. ආසන සංවිධායකවරුන් සඳහා මේ වන තුරුත් මැතිවරණ ප්‍රචාරණය ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුමක් ලබා දීලා නෑ. මේ හරහා සිදු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමයි" යැයි හෙතෙම සඳහන් කළේය.

"ජනාධිපතිවරණය කියන්නේ රටේ නායකයා තීරණය කරන රටේ ගමන් මග තීරණය කරන මැතිවරණයකටයි. ආර්ථික, සමාජීය, දේශපාලන කරුණු තීරණය වන්නේ ඒ මත සිටයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරමින් සැබෑ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසු වුණා. එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත්වීමට නොහැකි නම් උප නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසු වුණා. ලක්ෂ 45ක ඡන්ද බලයක් හිමි එක්සත් ජාතික පක්ෂයට හැකි විය යුතුයි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට" යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 December 2014 17:34