May 19, 2024

විලත්තව සතිපොළ කඩා වැටෙයි - වාහන 3කට අලාභ හානි 

December 14, 2014

බිංගිරිය - විලත්තව සතිපොලේ ගොඩනැගිල්ලක් අද(14) අළුයම 5.30ට පමණ කඩා වැටීමෙන් එහි නවතා තිබූ ත්‍රී රෝද රථයකට සහ වාහන දෙකකට අලාභ හානි සිදුවී තිබේ.

විලත්තව සති පොලේ ව්‍යාපාරික කටයුතු සිදු කරණු ලබන්නේ ඉරිදා දින වල බැවින් අනතුර සිදුවන විට එම ස්ථානයේ ව්‍යාපාරිකයින් රැසක් සිට ඇත. කඩා වැටී ඇති ගොඩනැගිල්ල තුළ ව්‍යාපාරිකයින් කීප දෙනෙකු වෙළදාම් සුදානම් වෙමින් සිට ඇති අතර නමුත් ඔවුන්ට තුවාල සිදුවී නොමැත. වෙළදාම් කටයුතු සදහා භාණ්ඩ රැගෙන විත් තිබූ ත්‍රී රෝද රථයක් කඩා වැටී ඇති ගොඩනැගිල්ලට යටවී ඇති අතර කුඩා ප්‍රමාණයේ ලොරි රථ දෙකකට සුළු හානි සිදුවී ඇත.

සතියේ ඉරිදා දිනය විලත්තව සති පොලේ ව්‍යාපාරික කටයුතු සිදු කරන දිනයයි. යම් ආකාරයකින් මෙම අනතුර දිවා කාලයේ සිදු වුනේ නම් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරකයින් කීප දෙනෙකු මිය යන්නට හා තුවාල ලබන්නට ඉඩ තිබූ බව එහි සිටි ව්‍යාපාරිකයින් කියා සිටියේය. ගොඩනැගිල්ල කඩා වැටීම ආරම්භයත් සමගම එහි සිටි පිරිස් ඉවතට පැන ඇති බවද ඔවුන් කියා සිටියේය.

විලත්තව සති පොල වෙනුවෙන් නව ගොඩනැගිලි පද්ධතියක් දිරිය බිම වැඩසටහන යටතේ මේ දිනවල ඉදි වෙමින් පවතින බවත්, එම ගොඩනැගිලි ඉදිකිරීමෙන් පසුව දැනට ඇති ගොඩනැගිලි සියල්ල ඉවත් කරන බව මේ සම්බන්ධයෙන් විමසූ විට බිංගිරිය ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු කියා සිටියේය.   

පුත්තලම - ජුඩ් සමන්ත

 

 

 

Rate this item
(0 votes)