May 19, 2024

යානය කඩා වැටීම අභිරහසක් - යානයේ අවසන් පණිවිඩය ගැටලුවක්‌

December 14, 2014

රත්මලාන බලා පියාසර කරමින් තිබියදී ඉකුත් 12 වැනිදා ගුවන් හමුදා ඇන්ටොනොව් යානය අනතුරට පත් වූයේ ඒ මොහොතේ රත්මලාන ගුවන් තොටුපළ අහසේ පැවති කාලගුණික තත්ත්වය පිළිබඳ නිසි පරිදි ගුවන් නියමුවා දැනුවත් නොවීමෙන්ද යන්න පිළිබඳ සැක මතු වී තිබේ.

යානය අනතුරට පත් වීමට පෙර ගුවන් නියමුවා අවසන් වශයෙන් පාලක මැදිරිය හා සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ තමන්ට නිසි පරිදි රත්මලාන ගුවන් තොටුපළේ ධාවන පථය දිස්‌ නොවන බවකි. 

ඉන් තහවුරු වන්නේ නියමුවා ගුවන් යානය ගොඩ බැස්‌සවීමට සූදානම් වූ බවය. නමුත් ගොඩ බෑමේ අවස්‌ථාව තෙක්‌ යානය ළඟා වීමට පෙර රත්මලාන ගුවන්තොටුපළ අහසේ අධික මීදුම් තත්ත්වයක්‌ පවතින බව නියමුවාට දැනුම් දීමට රත්මලාන පාලක මැදිරියෙන් පියවර ගත්තේද යන්න පිළිබඳ සැක මතුවී ඇතැයි උසස්‌ ගුවන් හමුදා නිලධාරියෙක්‌ පැවසීය.

සාමාන්‍යයෙන් ගුවන් තොටුපළක්‌ වෙත යානයක්‌ ළඟා වෙද්දී ඊට පෙර ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ නියමුවා දැනුවත් කිරීම පාලක මැදිරිය මගින් සිදු කරන්නක්‌ බවද හෙතෙම සඳහන් කළේය.

කටුනායකින් පිටත් වූ ඇන්ටනොව් යානය අනතුරට පත් වන අවස්‌ථාව වන විට රත්මලාන පාලක මැදිරිය හා සම්බන්ධ වී තිබිය යුතු වුවද නියමුවා අවසන් පණිවුඩය කටුනායක පාලක මැදිරිය වෙත ලබා දීමද ගැටලුවක්‌ වී ඇත.

මේ අතර කටුනායක සිට රත්මලාන ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ඇන්ටනෝව් 32 යානාව කඩාවැටීම පිළිබඳව ගුවන් හමුදාපති කෝලිත රණසිංහ මහතා විශේෂ විමර්ශන කමිටුවක්‌ පත්කර ඇත.

මෙතෙක්‌ කරන ලද මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ රත්මලාන ධාවන පථය වෙත පැමිණෙන පියාසර මාර්ගයේ අධික මීදුම පැතිර තිබූ බවයි. 

මේ නිසා නියමුවාගේ දර්ශන පථය මුළුමනින්ම වැසීගොස්‌ තිබේ. 

හෝකන්දර හරහා වැටී ඇති මෙම පියාසර මාර්ගයේ පහළ ගස්‌ ඇති බවත් යානාව එකී ගසක වැදී ඇති බවට සැක කෙරේ.

විපතට පත් යානාවේ වටිනාකම ඩොලර් මිලියන 6 ක්‌ වේ. මේ යානාව කඩාවැටීමේ සිද්ධිය මීදුම පවතිද්දී එය පහළට ගැනීමේදී සිදුවූ වැරැදීමකින් විය හැකි යයි සිතන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. 

මේ අන්දමට හිටපු ඇමැති අෂ්රොµa ගමන්ගත් එම්.අයි. 17 හෙළිකොප්ටරයක්‌ද මාවනැල්ලේ දී අධික මීදුමකට ගොදුරු වී කඩාවැටී තිබුණි.  

(දිවයින)

Rate this item
(0 votes)