May 19, 2024

පිල් මාරුව නවතන මෙහෙයුමක් ඇරඹේ

December 12, 2014

මේවන විට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී පිල්මාරුකිරීමට සූදානම්ව සිටින පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඉන් වළක්‌වා ගැනීමට ආණ්‌ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් ජ්‍යෙෂ්ඨයින් විසින් පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පක්‍ෂය හැර නොයෑම සඳහා මෙම මන්ත්‍රීවරු තම පක්‍ෂ නායකයින්ගෙන් විවිධ ඉල්ලීම් සහ වරප්‍රසාද ඉල්ලා සිටින බවටද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. 

ඉදිරි ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව රැස්‌වන අවසාන දිනය වන්නේ අදයි. විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පනත යටතේ නියෝග කිහිපයක්‌ අනුමත කර ගැනීම සඳහා අද (12) පස්‌වරු 1.30 ට මැති සබය රැස්‌වේ.

මේ වනවිටත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ සංයුතියේ වෙනසක්‌ සිදුව තිබෙන අතර ඒ අනුව මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ ආසන රටාවේද වෙනසක්‌ සිදුව ඇති බව වාර්තා වෙයි.

දැනට සිදුවී ඇති මෙම වෙනස මැද අද පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් පසුවද සභාගැබ තුළදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්‌වමින් ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්‌ විපක්‍ෂයටද, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වමින් එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්‌ඩු පක්‍ෂයටද පැති මාරු කිරීමට සුදානම්ව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. 

මේ සම්බන්ධව පක්‍ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨයින් කලබලයට පත්ව ඇති අතර පැති මාරු කිරීමට සූදානම්ව සිටින බවට සැක කෙරෙන මන්ත්‍රීවරුන් හමු වී ඔවුන්ගේ එම අදහස ව්‍යර්ථ කරන ලෙසට එම පක්‍ෂ දෙකෙහි ප්‍රබලයන් විසින් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු යොදවා ඇත.

ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨයින් පසුගිය දින කිහිපයක සිට පැති මාරු කරන බව පවසන මන්ත්‍රීවරු වෙන් වෙන් වශයෙන් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 14:53