April 29, 2024

ආවා කල්ලියේ ප්‍රභලයන් 16ක් පාටියකදී කොටු

වව්නියාව ඕමන්ත පොලිස් වසමේ කෝදණ්ඩ නොච්චිකුලම් ප්‍රදේශයේදී ආවා කල්ලියට අයත් ප්‍රභල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කෝදණ්ඩ නොච්චිකුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක සාදයක් පවත්වා ඇති අතර එම ස්ථානය වැටලීම සිදුකල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එහි සිටි තරුණයින් 16 දෙනාම අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකතනවල ඔවුන් විසින් ආවා කල්ලි සාමාජිකයින් හා නායකයින් සමග ගත් ඡායාරූප, තියුණු ආයුධ භාවිත කරන අයුරු , පුද්ගල පහරදීම් ආදි සමාජ විරෝධි ක්‍රියා රැසක් අනාවරණය වී ඇති අතරම කිසියම් විනාශකාරී ක්‍රියාවක් සිදු කිරීමට පෙර සැලසුම් කිරීම සඳහා මෙම සාදය පවත්වා ඇති බවටද තොරතුරු අනාවරනය වී තිබෙනවා.

අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ආයුධ වෙනත් ස්ථානයන්හි සඟවා තිබූ හෙයින් හමු නොවී ඇති බවටත් සඟවා ඇති ආයුධ සොයා පරික්ෂණයක් ඇරඹීමටද පුලියන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුලියන්කුලම, මාන්කුලම්, මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කිලිනොච්චිය, යාපනය, මල්ලාවි ආදි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 18 ත් 30 ත් අතර පසුවන අය වන අතර ඔවුන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඕමන්ත පොලීසියට භාරදීමටද පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබෙනවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)