May 06, 2024

නිදහස වැරදි ලෙස ගන්න එපා - ජනපති කියයි

February 28, 2022

රට පාලනයේ දී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ පෙරේදා (26) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මකයි. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදාදීමට සැලසුම් කර තිබෙන බව රජය පවසනවා.

පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරෙනවා.

ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදාවනවා.

විදේශ විනිමය නොමැති වීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක්. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට මූලික හේතුවක්. පෙර රජයන් ගත් ණය පොළී සමග ගෙවීමට සිදුව තිබෙන බවත් මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදුවූවක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්, ජනතාවත්, රජයත් එක්ව වැඩකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කඩාකප්පල්කාරී වැඩ වර්ජන, බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකින් අපේක්ෂා නොකරන බව කියා සිටියා.

වසර 20කට වඩා භුක්ති විඳි ඉඩමක නීත්‍යානුකූල හිමිකමක් නැතිව සිටි මහවැලි ජනතාව ඒ හිමිකම ලැබීමෙන් ලබන සතුට රජයටත් දැනෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

රසායනික පොහොර ගෙන්වීම සීමා කිරීමත් සමග විප්ලවවාදීන් යැයි කියාගන්නා පක්ෂ ගොවි ජනතාව පාරට බැස්සූ බවත් වගා කළ කුඹුරුවලට ගිනි තබමින් භෝග විනාශ කරමින් කළ උද්ඝෝෂණ ගොවියාට ආදරයෙන් කළ ඒවා නොව දේශපාලන වාසි ගැනීමට  කළ ඒවා බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

හිමිකම් ඔප්පු ලබාදීමෙන් පමණක් මහවැලි ගොවි ජනතාවගේ සියලු ගැටලු විසඳෙන්නේ නැති බවත් ජාතික අවශ්‍යතාවය දෙස බලා සෑම බිම් අගලක්ම වගා කිරීමට කටයුතු කිරීමේ යුතුකම ද ගොවි ජනතාව සතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවා.

මහවැලි කලාපයේ තුන්වැනි පරම්පරාව ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වගකීම වෙනුවෙන් රජය පෙනී සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියා.

Rate this item
(1 Vote)

Related items