May 03, 2024

ජනවාරි පළවෙනිදා කන්න වෙන දේ මෙන්න (VIDEO)

December 31, 2021

ජනවාරි පළමුවැනිදාට බතක්, කිරිබතක් උයලා එළවළු තුන හතරක් එක්ක ගෙදර අය සමග සතුටින් කාපු මේ රටේ මිනිස්සුන්ට මෙවර ජනවාරි පළවෙනිදාට මඤ්ඤොක්කා අලයක් තම්බාගෙන කනවා හැර වෙන කරන්න දෙයක් නෑ යනුවෙන් මහනුවර මැණික්කුඹුර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එම්. සිල්වා මහතා පවසනවා.

එළවළු මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ඊයේ (30) අදහස් පළ කළ සභාපතිවරයා කියා සිටියේ ජනතාවට පහසු මිලකින් මිලදී ගත හැකි එකම එළවළුව මඤ්ඤොක්කා පමණක් බවයි.

තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළා.

"පසුගිය දින කීපය තුල වට්ටක්කා වැනි එළවළුවල මිල තරමක් පහලට ගොස් තිබුණත් අද වන විට වට්ටක්කා මිළත් ඉහළ ගිහිල්ලා. රුපියල් 100 ට අඩුවෙන් කිලෝවක් ගන්න පුළුවන් මඤ්ඤොක්කා පමණයි. ජනවාරි පළවෙනිදාට මඤ්ඤොක්කා තම්බාගෙන කනවා ඇරෙන්න ජනතාවට වෙන විකල්පයක් නෑ. වෙනදාට උත්සව සමයට එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ 15 ක් පමණ මේ ආර්ථික මධ්‍යස්ථානයට එනවා. අද ඇවිත් තියෙන්නේ එළවළු කිලෝ ග්‍රෑම් හැටදාහක් පමණ ප්‍රමාණයක්. නුවරඑළිය, වැලිමඩ පැත්තෙන් එන එළවළු ඉතාමත් අඩු වෙලා. නමුත් ඒ එලවලුවල මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. උඩරට එළවළු වල මිල කිලෝ එකක් සාමාන්‍ය වශයෙන් රුපියල් 500 - 800 ත් අතර වගේ වෙනවා. ඇතැම් එළවළු මිල තරමක් අඩු වුණත් ඒවත් රුපියල් 300 - 400 ක් පමණ වෙනවා. අමු මිරිස් තොග මිල දාහකට ආසන්නයි .ඉතිං සාමාන්‍ය ජනතාව එලවළු කන්නේ කොහොමද. සිල්ලර එළවළු වෙළඳාම් කරපු බොහෝ අය අද ඒ වෙළඳාම නවත්වලා. මේ තියෙන ගණන්වලට ජනතාවට විකුණන්න බැහැ කියලා කියනවා. මේ සියල්ලටම හේතු උනේ පොහොර ගැටලුව. රජය එක එක උපදේශකයන්ගේ කතා අහල හිටපු ගමන් රසායනික පොහොර තහනම් කළා. ඒකෙන් උනේ අහිංසක ගොවියාට  වගේම අපේ ව්‍යාපාරිකයන්ගේ බඩට වැදිච්ච එකයි. සාමාන්‍ය ජනතාව ගැන කතා කරල වැඩක් නෑ. දැන් පොහොර ගෙනාවත් ඒවා ගෙනල්ලා අලුතෙන් වගා කරලා අස්වැන්න එනකොට අඩුම තරමින් මාස පහක්වත් යයි." 

(මහනුවර  කේ.එල්. සුරවීර)       

 

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 December 2021 21:52