May 13, 2024

බලාගෙනයි! එළවළු පරිස්සම් කර ගන්න

December 22, 2021

මේ දිනවල වෙළඳපොලේ එළවළු මිල සීග්‍රයෙන් ඉහල යමින් පවතිනවා. ඉන්ධන මිල වැඩි වීම හමුවේ එලවළු කිලෝවක මිල පවතින මිලට වඩා රුපියල් 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා. 

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා එළවළු මිලද වැඩිවන බව එළවළු ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දෝ සඳහන් කරනවා. දඹුල්ල, කැප්පෙටිපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග මිල ගණන් ඊයේ (21) ඉහළ මට්ටමක පැවතුණා. එළවළු වර්ග කීපයක තොග මිල ගණන් ඊයේ දිනයේ වාර්තා වූයේ මෙලෙසයි.

බෝංචි රුපියල් 360 – 400, ගෝවා රුපියල් 200-220, මාළු මිරිස් රුපියල් 600-650, කැරට් රුපියල් 280-300, අමු මිරිස් රුපියල් 700, ලීක්ස් රුපියල් 200-220, තක්කාලි රුපියල් 230-250, පතෝල රුපියල් 200-260, කරවිල 180-200, වම්බටු 265-270, දඹල 130-140, මෑකරල් 145-150 සහ කෙසෙල් මුව කිලෝවක මිලද රුපියල් 75 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

එළවලු පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ මට්ටමක පවතිනවා. පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ මෙලෙස අධික මිලට එළවලු මිලදී ගැනීමට නොහැකි බවයි.

එවන් වටපිටාවක වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින් තවත් සිද්ධියක් වාර්තා වෙනවා. ඒ  එළවළු සොරා ගත් බව කියන පුවතක්.

එළවලු සොරකම් කිරීම නිසා පොහොර ගැටලුවෙන් මිරිකී සිටින ගොවීන්ට තම වගාව ආරක්ෂා කර ගැනීමට ද සිදු වෙලා තියෙනවා. 

මෙලෙස තමාට වගා කර ගැනීම සඳහා 175,000ක මුදලක් වියදම් වූ බවයි ඔහු සඳහන් කරන්නේ. මෙලෙස එළවලු සොරකම් කිරිම නිසා ගොවින් දැඩි ලෙස කලකිරීමකට පත්ව සිටිනවා. 

"සතියකට කඩන්න තියන ඉස්සරහා දවසේ ඇවිල්ලා මෙතන මලු දාලා පොහොර බෙහෙත් නැතිව හදා ගත්තු පොඩි පොඩි කරවිල ගෙඩි පවා කඩා ගෙන ගිහිල්ලා. විනාශයක් කරලා තියෙන්නේ. එක් ලක්ෂ හැත්තෑ පන්දහසක පමණ කරවිල මේ යායම හොරකම් කරලා. දැන් සතියක් දෙකක් බැලුවා කරන්න විදියක් නැති නිසා ගමේ කට්ටිය රැකලා ඉඳලා තමයි මේ කට්ටිය අල්ල ගත්තේ."

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ වතු යායේ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා ඇතුළු හත් දෙනකු ගම්වාසින් විසින් අල්ලා පොලිසියට බාර දී තිබෙනවා.

සොරකම් කර තිබුනේ මේ වන විට වෙළඳපොලේ ඉහල මිලක් ඇති කරවිල, වම්බටු, තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග කිහිපයක්.

සොරකම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථ දෙකක් සහ එළවළු තොගය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

වන අලි, පොහොර ගැටලුව, ජල ගැටලුව ඇතුළු ප්‍රශ්න රැසකට මුහුණ දුන් ගොවින් සිය වගාවන් සිදු කරද්දී එළවළු සොරකම් කිරීම නිසා ගොවීන්ට යන එන මං නැති වී තිබෙනවා. මෙම ප්‍රශ්නය උග්‍ර වීම හේතුවෙන් ගොවින් වගා බිම් හැර යාමට පවා තීරණය කර ඇති බවයි අපට වාර්තා වෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 December 2021 11:29