May 11, 2024

රාවණාගම වැසියන්ගේ කඳුළු කතාව (PHOTOS)

December 08, 2021

මොරගහකන්ද කලුගග ජලාශ ඉදිවීම නිසා හුදෙකලා බවට පත්වූ ලග්ගල රාවණා ගම, ගුරුවෙල  ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි ජීවිත අවදානමකට ලක්ව වන අලින්ගේ වසුරු බුදින තැනට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.

වෙහෙර, විහාර, පන්සල් සියල්ල පාළු කනත්තක් බවට පත්ව එහි වැඩසිටි මහා සංඝ සඟරුවන හැඬූ කඳුළින් මහා වන මැද තනිව වැඩ සිටීමට සිදුව ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදි කිරීම් සඳහා ලග්ගල ප්‍රදේශයේ විශාල භූමියක් රජයට පවරා ගැනීම් සිදු කෙරුණා. මේ වන විට ජලාශ දෙකෙහිම වැඩ අවසන් වී තිබෙනවා.

ජලාශ දෙක සඳහා යට වුණු ඉඩම්වල ජීවත්ව සිටි ජනතාවට විකල්ප ඉඩම් නිවාස ආදී මහවැලියෙන් ලබා දී තිබෙනවා. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදි වී වසර ගණනාවක් ගත වී ඇතත් හුදෙකලා බවට පත්ව ජනශුන්‍යව සිටින පවුල් තිහක් පමණ ජීවත්වන ගුරුවෙල සහ අතීතයේ සිට රාවණා රජුට නෑකම් කියන රාවණා ගමේ ජනතාව දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව සිටිනවා.

එම හුදෙකලා වී ඇති අතීතයේ සිට පැවත එන රාවණා ගම සොයා අප ලග්ගලට ගියා. එහි  ගම්වැසියෙකු අපට කියා සිටියේ රාවණා ගම දැන්වීම් පුවරුවට පමණක් සීමා වී ඇති බවයි.

අතීතයේ සිට ගමේ ජනතාව පණ මෙන් රැක ගත් පන්සල අද සොහොන් පිටියක් සේ පාළුවට ගොස් ඇති බවත් අනාදිමත් කාලයක සිට ගමේ හදවත් ලෙස ජීවය දුන් ගුරුවෙල ජල උල්පත් ජනතාවගේ හදවත් සිඳීගිය මෙන් මොරගහකන්ද කළු ගඟ ජලාශ නිසා සිඳී ගිය බව ජනතාව පෙන්වා දෙනවා.

අවස්ථා ගණනාවක්දීම මෙම ගම්මානයේ සිටි කණ්ඩායම් වෙනත් ප්‍රදේශ වලට පදිංචිය සඳහා පිටත් කර යවා ගුරුවෙල රාවනාගම ප්‍රදේශයේ පවුල් තිහක් පමණ දෙනාට අද සිදුව ඇත්තේ වන අලින් සමග පොර බදිමින් ජීවිත ආරක්ෂා කර ගැනීමට බව එම ගමේ ජීවත්වන මහින්ද සිරිවර්ධන මහතා අප සමඟ පැවසුවා.

හවස 3.00 පසු වන විට මෙම ගම්මානයට කිසිදාවත් නොසිටි වන අලි රංචුවක් කඩා වැදී තමන්ගේ භවභෝග පමණක් නොව ජීවිත කූඩු පවා විනාශ කිරීමට උත්සාහ කරන බවත් මේ හේතුව නිසාවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ජන ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම ගම්මානයේ ජීවත්වන සෝමාවතී හෙට්ටිආරච්චි මාතාව හඬා වැටෙමින් කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟට, අග්‍රාමාත්‍යවරයා ළඟට මෙන්ම පාර්ලිමේන්තුවට පවා තමන්ට සිදුව ඇති ප්‍රශ්නය රැගෙන ගිය බවයි.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තම දුක පිළිබඳව කිසිවක් අවධානය නොකොට තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා පමණක් සිටි බව ඇය සඳහන් කළා.

මෙම ගම්මානයේ ජීවත්වන සියලුදෙනාගේම ඉල්ලීම බවට පත්ව ඇත්තේ තමන්ට ද සුදුසු ප්‍රදේශයක වාසය කිරීම සඳහා මහවැලි අධිකාරියේ අවධානය යොමු විය යුතු බවයි.

ගුරුවෙල විහාරස්ථානයේ වැඩ සිටි ගුරුවෙල පඤ්ඤාරාම හිමියන් පල්ලේගම මධ්‍ය ‍මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවමින් ප්‍රදේශයේ ජන ජීවිතය යළි ගොඩ ගොඩනැඟීම සඳහා වසර ගණනාවක් තිස්සේ දැඩි උත්සාහයක නිරත වූ හිමිනමක්.

මීට වසර දහ තුනකට ඉහතදී කළුගඟ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරනවාත් සමග උන්වහන්සේ  විරෝධයක් ප්‍රකාශ කරමින් කියා සිටියේ ගුරුවෙල සහ අවට ජනතාවගේ හදවත් බඳු වූ වසරේ සෑම මාසයකම නොසිදෙන ගුරුවෙල ජල උල්පත මෙම  ක්‍රියාවලියත් සමඟ සිදී ගොස් ජනතාවට පීඩනයකට ලක් වන බවයි.

උන්වහන්සේ වැඩ සිටි පන්සල ද අද අහිමි වී මහා වනයක් මැද කුඩා කටුමැටි ගැසූ ආවාස ගෙයක වැඩ සිටිනවා. උන්ව වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේවේදී තම දායක දායිකාවන්ට සිදුව ඇති බරපතල හානිය මතක් කර දෙමින් උන්වහන්සේ හඬා වැටෙන්නට  වීම විශේෂත්වයක්.

මහවැලි අධිකාරිය මගින් බොහෝ ජනතාවවට සෙත් සැලසුව ද මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන තම ගම්මානයේ ජනතාවට මහවැලියේ කිසිදු සරණක් නොමැති බව පෙන්වා දුන් උන්වහන්සේ කියා සිටියේ ආදී මුතුන් මිත්තන් ආරක්ෂා කළ සියලු දේ මෙරට මහා වාරි තාක්ෂණය වූ  මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට ලබාදී  ජීවිත අවදානමකට ලක්ව ගුරුවෙල ජනතාව ජීවිත දන්දීමේ සිද්ධියකට මුහුණ පා ඇති බවයි.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 13:41