May 02, 2024

ටින්කර් ලසන්ත ආයුධ පෙන්වන්න යයි! සන්ෂයින් සුද්දාගේ ඝාතකයා මරුට! (VIDEO) Featured

November 26, 2021

කළුතර, දියගම ප්‍රදේශයේ දී අද (26) අළුයම වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එය සිදුව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන හේවාලුණුවිලගේ ලසන්ත නොහොත් “ටින්කර් ලසන්ත” නමැති පුද්ගලයෙකු සහ පොලීසිය අතර යි.

පොලීස් වෙඩි ප්‍රහාර හමුවේ අදාළ අපරාධ කල්ලි සාමාජිකයා මරණයට පත්ව ඇති බව සඳහන්.

අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් “සන්ෂයින් සුද්දා” නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කළ බවට සැක කෙරුණේ අද අළුයම මිය ගිය ලසන්ත නමැත්තා යි.

සන්ෂයින් සුද්දාගේ ඝාතනයට අමතරව තවත් අපරාධ රැසක් සම්බන්ධව ලසන්ත නමැත්තාට චෝදනා එල්ල වී තිබූ බව පොලීසිය පවසනවා.

හේවාලුණුවිලගේ ලසන්ත නමැත්තා කළුතර, දියගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව අද අළුයම පොලීසිය එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහි දී පොලීසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු සතු වූ බව කියන පිස්තෝලයක් සහ අත් බෝම්බයක් සොයාගැනීමට යාමේ දී ටින්කර් ලසන්ත නමැත්තා අදාළ පිස්තෝලයෙන් පොලීසියට වෙඩි තබා ඇති බවත්, එහි දී පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පොලීසිය පවසනවා.

ටින්කර් ලසන්ත නමැත්තා මරණයට පත්ව ඇත්තේ එම ප්‍රතිප්‍රහාර හමුවේ යි.

සිද්ධියෙන් කළුතර කොට්ටාස අපරාධ අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද තුවාළ ලබා ඇති බව වාර්තාවන අතර ඔවුන් දෙදෙනා මේවන විට රෝහල්ගත කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ සන්ෂයින් සුද්දා නමැත්තා දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ බවට පැවසුණු අතර ඔහු පසුගිය සැප්තැම්බර් 03 වැනි දා වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

සිය අනියම් පෙම්වතියගේ නිවස වෙත පැමිණ යලි යමින් සිටියදී ඔහු එලෙස මරණයට පත් වූ අතර එම ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු වූයේ අද අළුයම මියගිය ටින්කර් ලසන්ත යි.

අද අළුයම සිදුවූ සිද්ධිය මෙන්ම පසුගිය කාලයේ අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකුම අත්අඩංගුවේ සිටියදී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගියා.

ඒ අතර මෙරට බිහිවුණු දරුණුතම අපරාධ කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධූෂ් ද ඇතුළත්.

සන්ෂයින් සුද්දා නමැත්තා ද මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු බව ද පැවසෙනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 26 November 2021 09:08