April 30, 2024

ලඟදීම දරුණු කොවිඩ් රැල්ලක්! ජනපතිට වෛද්‍යවරුන්ගෙන් ලිපියක්

November 12, 2021

රට තුළ සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා වු නිර්දේශ ඇතුළත් ලිපියක් එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබෙනවා.

සීමා කිරීම් යළිත්

ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව එම නිර්දේශ තුළ සඳහන්.

එහිදී සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී ති‍බෙනවා.

වැඩිහිටියන්ට අවදානම වැඩියි

එමෙන්ම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් එන්නතක් ලබාදීමේ වැදගත්කම ද එම සංගමය නිකුත් කළ නිර්දේශ අතර වෙනවා.

වැඩිහිටියන්ට කොවිඩ් -19 ආසාදනය වීමේ අවදානම වත්මන් තත්ත්වය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය පෙන්වා දෙනවා.

බූස්ටර් මාත්‍රාව

එබැවින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60ට අඩු රෝගීන් සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හට ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ප්‍රමාදයකින් තොරව ලබාදිය යුතු බව ද වෛද්‍ය සංගමය නිකුත් කළ නිර්දේශ තුළ දැක්වෙනවා.

මීළඟ ආසාදන රැල්ල 

සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංලග්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම් ආදියේ සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සව සඳහා අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන් ම ලිහිල්කිරීම තවත් කාලයක් ප්‍රමාද කරන ලෙස රජයේ වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

මීළඟ ආසාදන රැල්ල වැළැක්වීමට නම්, ආසාදනවල වැඩිවීමක් කලින් හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් බවත්, සුපරීක්ෂාකාරීව කොවිඩ් ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ලබන බවත් එම ලිපිය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබෙනවා.

අවසරයකින් තොර රැස්වීම් බෑ

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසූවේ මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවයි.

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 715 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548, 061 දක්වා ඉහළ ගියා.

මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 75 කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

එන්නත් කාඩ්පත අනිවාර්යයි

පොදු ස්ථානවලදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකාරාශී වීම් සහ ක්‍රියාකාරකම් සඳහා පූර්ව අවසර ලබා ගත යුතු බව අවධාරණය කරමින් නිරෝධායන ආඥා පනත සංශෝධනය කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 12:21