May 05, 2024

ආපදාවෙන් තිදෙනෙක් මරුට - දහස් ගණනක් අවතැන්

November 09, 2021

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවා.

මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මහඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතිනවා.

එමෙන්ම සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව දැනුම් දී තිබෙනවා.

මේ අතර නිල්වලා ගඟ සහ  කළු ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින නිසා ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට නායයෑම් අනතුරු අඟවා ඇති බවයි.

දින ගණනාවක් තිස්සේ පැවති තද වැසි සමඟ ඇතිවූ ගං වතුර, අකුණු සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 1,836 කට අයත් 7,167 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මරණ 6ක් වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර පීඩාවට පත් පවුල් 58 කට අයත් 222 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 7ක රඳවා ඇති අතර තවත් පවුල් 157 කට අයත් 599 දෙනෙක් ඥාති නිවෙස්වල රඳවා ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

බදුල්ල, නුවරඑළිය, මාතලේ , මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇතැයි ද කොඩිප්පිලි මහතා සඳහන් කළා.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 377 කට අයත් 1,621 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. එම දිස්ත්‍රික්කවල නිවාස 14 පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 796 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර කෑගල්ල - රඹුක්කන - දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

තවත් අයෙකු එහිදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක්.

මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර අවුරුදු 8ක ඇගේ දියණිය සහ රාජාංගණයේ සිට පැමිණි 13 හැවිරිදි ඥාති දියණියක මෙලෙස මිය ගොස් ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක්.

මේ අතර, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඊට හේතුව ලෙස එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් පැවතීමයි.

ඊයේ දිනයේ ද එම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු සහ ගස් කඩා වැටී තිබූ අතර මේ වන විට ඒවා ඉවත් කර ගැනුණා. 

මේ අතර, බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම නුවරඑළිය, මාතලේ, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල නාය යාම්, පස් කඳු කඩා වැටීම් සහ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 58කට අයත් පුද්ගලයින් 222 නෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 09:22