අග්‍රහාර රක්‍ෂණයට මුදල් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධ බවත් ‘කොවිඩ්’ අවදානම තුළ විශ්‍රාමිකයන් ද උද්ඝෝෂණ කරන තත්වයට පත්නොකළ යුතු බවත් සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසනවා.
රුපියල් 200 ක මුදල ලබාගෙන අග්‍රහාර හිමිකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය පවසන්නේ.
එම සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවා.
නව චක්‍රලේඛණයකින් හිතුවක්කාරීව මුදල් අයකිරීමට ලේකම්වරයාට බලයක් නොමැති බව ද ඔහු සඳහන් කළා.
"දැන් දිගින් දිගටම අපිට දුරකථන ඇමතුම් එනවා. සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 200ක්. ඒ යටතේ අග්‍රහාර හිමිකම අපි ඉල්ලා හිටියේ. අලුත් චක්‍රලේඛයෙන් ඒක වෙනස් කරලා හිතුවක්කාරීව මුදල් අයකිරීමට බලයක් නැහැ. කොට්ඨාස සංගම් හැටියට අපි රු.100ක් අයකරනවා. ඔය විදියටම අපි අපේ අයට ගෙවනවා" එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා කියා සිටියා.
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.
2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මෙම මුදල අයකරගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවය.
එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතුවිය.
කෙසේවෙතත් රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් රජයේ මෙම තීරණයට විරෝධය පළ කර තිබෙනවා.