May 21, 2024

නිදහසට කරුණු නැහැ - පෙරළියකට ජනපති තීන්දු ගනී

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්විණ. එහෙත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සියලු දෙනාට ස්තූතියි 

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින බවත් අපේ ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වූ බවත් ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අදට (10) යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා.

අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් සහ අලුත් ඡන්ද ක්‍රමයක් 

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කෙරිණ. නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසුවා. 

නිලධාරීන් ජනතාව වෙනුවෙන් 

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිවරයා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා  මුල්ගල තැබීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. කණිෂ්ඨ හා බලලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක්කළ හමුදා රථ ජනාධිපතිවරයා නිරීක්ෂණය කරනු ලැබීය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමීය.

ආරාධිතයන් සඳහා වූ සමරු සටහන් පොතෙහි අත්සන් තැබූ ජනාධිපතිවරයා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 October 2021 04:37

Related items