May 20, 2024

කොවිඩ් කමිටුවෙන් තීන්දු රැසක්! ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට දැනුම්දීමක්

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ. මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ.

වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබෙනවා. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළා.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා  ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය.  එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 October 2021 14:02

Related items