May 16, 2024

සුදුලූනු වංචාව පිටුපස ඇමති පුතෙකුත් ? නම හැමෝම දන්නවා කියන්නේ නැහැ

ස.තො.ස සුදුලූනු වංචාව පිටුපස ඇමතිවරයෙකුගේ පුත්‍රයකුද ගෑවී සිටින බවට ඒෂියන් මිරර් වෙත තොරතුරු වාර්තා වනවා.

ස.තො.ස සුදුළූණු වංචාවට මෙම ඇමති පුත්‍රයාගේ තිබෙන සම්බන්ධය පාර්ලිමේන්තුවේ ආණ්ඩු විපක්ෂ මැති ඇමතිවරු සියල්ලන්ම පාහේ දන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පියාගේ බලතල

මෙම ඇමති පුත්‍රයා සිය පියාගේ ඇමති විෂය හරහා මුදල් ඉපැයිය හැකි ගනුදෙනු සඳහා මැදිහත් වන බවත් දැනගන්නට තිබෙනවා.

ස.තො.ස සුදුළූණු වංචාවක් සිදු වූ බව මේ වන විට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදීද පිළිගත්තා.

සුදුළූණු වංචාවට තමාගේ නමද ඈඳා ගනිමින් කුමන්ත්‍රණයක් සිදු කරන බවටයි අමාත්‍යවරයා චෝදනාව කරන්නේ.

ඇමති මණ්ඩලයටත් දොස්

හොරු අල්ලන එකා හොරා කියන තත්ත්වයක් නිර්මානය කර තිබෙන බවත් තමාට විරුද්ධව ක්‍රියාත්මක වන ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය තුළද සිටිය හැකි බවටත් මතයක් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණා.

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු එළියට පැමිණියේ එහි විධායක අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ කුෂාන් ගුණවර්ධන මහතා විසින් තොරතුරු හෙළිදරව් කිරීමත් සමඟයි.

ගුණවර්ධන මහතා මේ වන විට සිය ධූරයෙන් ඉල්ලා අස් වී සිටින්නේ.

ඇමති රාජ්‍ය ඇමති බලපෑම

තමා එසේ ඉල්ලා අස් වූයේ තමාට අමාත්‍යවරයාගෙන් හා රාජ්‍ය අමාත්‍යවරයා වන ලසන්ත අලගියවන්න මහතාගෙන් එල්ල වූ බලපෑම් නිසා බව ගුණවර්ධන මහතා සදහන් කර තිබුණා.

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පර්යේෂණයක් පවත්වනවා.

එහි ප්‍රධාන සැකකරු වන ස.තො.ස සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර එම සුදුලූනු තොගය මිලට ගත් දමිල ව්‍යාපාරිකයා මේ වන විට බන්ධනාගාර ගත කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 October 2021 10:28