May 11, 2024

"ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා" ජනපති යුරෝපා දූතයන්ට කියයි

ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කරනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබු අතර සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළා.

අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා දූත පිරිසයට පවසා සිටියා. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා විසින් සඳහන් කරනු ලැබිණ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ එමගින් රජය අපේක්ෂිත සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට එල්ල වූ බාධාවන් ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නා. 

එසේ තිබිය දීත් දීර්ඝ කාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමටත් උතුරු - නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා පැහැදිළි කළා.  විශේෂයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බව පෙන්වා දෙනු ලැබුවා.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස  සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළා.

පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත් පෙන්වා දෙනු ලැබුවා.

රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ජනාධිපතිතුමා පවසා සිටියා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීමටත් පෞද්ගලික අංශය වැඩිදියුණු කර රටේ සංවර්ධනයට දායක කරගැනීමටත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා දියුණු රටවල තාක්ෂණ ක්‍රමෝපායන් අනුගත කිරීමටත් පියවර ගනිමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මෙරට ප්‍රධානතම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය  වෙනුවෙන් තාක්ෂණ සහ පුහුණු සහාය ලබාගැනීමෙන් රටේ ආර්ථික දියුණුව ළඟා කරගැනීමට ඇති හැකියාව ජනාධිපතිතුමා විසින් පැහැදිළි කර දෙනු ලැබුවා. 

රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳ කළ දීර්ඝ පැහැදිළි කිරීම පිළිබඳව දූත පිරිස ජනාධිපතිතුමා වෙත  සිය ප්‍රසාදය සහ ස්තූතිය පළ කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 13:43

Related items