May 11, 2024

ජනපති අමෙරිකාවේදී දෙවන කතාවත් කරයි!

September 24, 2021

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව ආරම්භ වුණා.

"අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් සිදුකරනු ලැබුවා.

කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත්, දේශගුණික විපර්යාසයන් සමග මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දුන්නා.

තිරසර ආහාර පද්ධති යනු ශ්‍රි ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවත් ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපතිතුමා පැවසුවා.

දීර්ඝකාලීනව රසායනික පොහාරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම ද අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ සඳහා තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රිලංකාව සාදරයෙන් පිළිගන්නා බව  සඳහන් කළා.

කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරිමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිතුමා අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායට ද සිය ස්තූතිය පිරිනැමුවා.

තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු අතර එහිදී මුහුණදීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවා.

මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මග සළසනු ඇති බවට ද ජනාධිපතිතුමා විසින් විශ්වාසය පළ කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 09:32

Related items