May 10, 2024

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

September 19, 2021

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ (18) දිනයේ ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනපති ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගනු ලැබුවා.

“කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට නියමතයි.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිනවා.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට නියමිතයි.

සැසිවාරය අතරතුර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 09:56

Related items