May 17, 2024

විදෙස්ගත වන ලාංකිකයන් ගැන රජයෙන් තීන්දුවක්!

September 13, 2021

රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

බාධා ඉවත් කරන්න

විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්හට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී තිබෙන බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලුව කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මෙරට ගුවන් සමාගම සේ ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනීමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස නිලධාරීන් හට මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා.

වගකීම ගැන ඇමැති කියයි

විදේශ විනිමය ඉපැයීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව ඉටු කරන බව මෙහි දී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් කඩිනමින් සොයා බැලීමට උත්සුක වීම අදාළ අංශවල වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළා.

මෙරට නිෂ්පාදන අපනයනය කිරීම හා සේවා සැපයීම මඟින් විදෙස් විනිමය ඉපැයීම පිළිබඳ 2021 වසරේ අගෝස්තු දක්වා ලබා ඇති ප්‍රගතිය සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි බලපා ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඒ අනුව රෙදි පිළි හා ඇගළුම්, තේ, රබර් සහ රබර් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, වෙනත් අපනයන බෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ මුහුදු ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ අපනයනයේ දී ළඟා කරගෙන ඇති ඉලක්කයන් පිළිබඳව මෙහි දී විමසා බැලීය.

අපනයනයෙන් හොඳ කලක්

ඒ අනුව පසුගිය වර්ෂයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමාන්‍යය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840 ක් වූ අතර 2021 වසරේ මුල් මාස 8 තුළ එය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.

මුදල් ඇමතිගෙන් සහතිකයක්

ඒ ඒ අංශයන් වසංගතය හමුවේ මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර ඒවා කළමනාකරණය කර ගනිමින් අදාළ කාර්ය සාධන මට්ටමට ළඟා වීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කළේ නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීම ජනාධිපතිවරයාගේ හා රජයේ අරමුණ වන බැවින් ඊට ප්‍රමුඛතාවය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන අතරම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)