May 10, 2024

"නන්දසේනට නෙවෙයි ගෝඨාභයටයි කියන්නේ" - එන්නත් කුමන්ත්‍රණයක් ගැන සැකයක්

September 08, 2021

සෙල්ලම් ආණ්ඩුවක්

“ටීක් බෝල ගසන” ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

එවන් තත්ත්වයක් තුළ මෙය ආණ්ඩුවක් ද, සෙල්ලමක්ද, එසේත් නොමැති නම් සෙල්ලම් ආණ්ඩුවක් ද කියා තමන්වහන්සේට සිතෙන බව යි ආනන්ද හිමියන් සඳහන් කළේ.

හදිසි නීතිය පැනවීම මගින් කොවිඩ් වසංගතය තුරන් කිරීමට නොහැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා.

අස්වෙන දොස්තරවරු

ආණ්ඩුව අද ගෙන එන නීතිය හවසට වෙනස් කරන බව පෙන්වා දෙන උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ එවන් තීරණ හමුවේ ආත්ම ගෞරවයක් ඇති මිනිසුන් අස් වී යන බවයි.

කොවිඩ් මර්ධන කමිටුවෙන් විශේෂඥ වෛද්‍යවරු අස් වී යාම පිටුපස පවතින්නේ ද මෙය බව යි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එවන් ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරු දිනෙන් දින ඈත්වීම හමුවේ කොවිඩ් ව්‍යසනය වර්ධනය වීම අනිවාර්ය බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.

නන්දසේන ද? ගෝඨාභය ද?

මේවන විට මෙලෙස කටයුතු කරන්නේ “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා” ද, එසේත් නැත්නම් “නන්දසේන රාජපක්ෂ මහත්මයා” ද යනුවෙන් තමන්ට ඇසීමට සිදුව ඇති බව ද ආනන්ද හිමියන් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයාගේ නමෙහි කොටස් යොදාගනිමින් උන්වහන්සේ තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.

“ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටයි මේ කියන්නේ, නන්දසේන රාජපක්ෂ මහත්මයාට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ගමන් මාර්ගය ටිකක් වෙනස් කරන්න”

එන්නතේ කුමන්ත්‍රණය

මේ අතර හම්බන්තොට ප්‍රදේශයට ෆයිසර් එන්නත ලබා දීම පිළිබඳව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිය මතය පවසා සිටියා.

උන්වහන්සේ අවධාරණය කරන්නේ කොළඹට චීන එන්නත ලබා දී හම්බන්තොටට ෆයිසර් එන්නත ලබා දීම පිටුපස අබිරහසක් හෝ කුමන්ත්‍රණයක් පවතින බව තමන්වහන්සේගේ විශ්වාසය බව යි.

“මම දන්නෑ. ඒක ජනාධිපතිතුමාගෙන් ලකුණු දාගන්න කරපු වැඩක්ද? එහෙම නැත්නම් නාමල් මහත්තයාගෙන් ලකුණු දාගන්න කරපු වැඩක් ද? අගමැතිතුමා දැන් ලකුණු දාගන්න වැඩ කරන්නෙ නෑ. හම්බන්තොටට නෙවෙයි හැම කෙනාටම ගහන්න තියෙද්දී දැන් ඒගොල්ලෝ කියනවා හම්බන්තොට වරාය තියනවා, ගුවන්තොටුපොල තියනවා. ඉතින් කොළඹත් තියෙනවානෙ. කොළඹට චීන එක දීලා ඇයි හම්බන්තොටට ෆයිසර් එක දෙන්නේ? මේකෙ අබිරහසක් හරි, කුමන්ත්‍රණයක් හරි, ලකුණු දමාගැනීමක් හරි තියෙනවා කියන එකයි මට පේන්නේ”

ආණ්ඩුවට අභියෝගයක්

එමෙන්ම ආනන්ද හිමියන් ආණ්ඩුව වෙත අභියෝගයක් ද ඉදිරිපත් කරමින් කියා සිටියේ හැකි නම් මහමැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වන ලෙසට යි.

එලෙස මැතිවරණයක් පැවත්වුවහොත් ජනතාව මේවන විට ආණ්ඩුව කෙරෙහි දක්වන ආකල්පය හොඳින් අවබෝධ කරගැනීමට හැකිවනු ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

“මැතිවරණයක් තිබ්බොත් මේ ජනතාව ඉන්නේ කොතනද කියන එක කාට කාටත් තේරුම් ගන්න පුළුවන්කම ඇතිවෙයි. අද ඒ තරම් ජනතාවට වහකඳුරු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගතවූ කාලය පුරාම ආණ්ඩුවේ ක්‍රියාකලාපය මේ අයුරින් දැඩිව විවේචනය කළ අයුරු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සඳහා ඇප කැප වූ භික්ෂූන් අතර උන්වහන්සේ එකල ප්‍රබල භූමිකාවකට පණ දුන් හිමිනමක් වීම ද විශේෂත්වයක්.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 08 September 2021 20:51

Related items