May 11, 2024

ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක්

September 04, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා (Uhuru Muigai Kenyatta) ඊයේ (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

නායකයන් දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

සෙසු ජාතීන්ට ආදර්ශයක්

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ලංකාවේ නැගීසිටීමේ හැකියාව

ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැගීසිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බවයි.

නායක දෙපළ මෙහිදී ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති, වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තම සමීප සබඳතා සහිපත් කරමින් ජනාධිපති උහුරු කෙන්යාටා මහතා කියාසිටියේ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටක් වන අතර 2020 දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිස තිබෙනවා.

Rate this item
(0 votes)

Related items