April 28, 2024

ජනපතිට දුන් බුද්ධි අංශ වාර්තාවෙන් විශේෂ අනාවරණයක්! ජනපතිගෙන් දැඩි තීන්දුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) රැස්වූ කොවිඩ් මර්දන විශේෂඥ කමිටු රැස්වීමේදී බුද්ධි අංශ විසින් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා. 

එහිදී බුද්ධි අංශ පෙන්වා දී ඇත්තේ ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා ඇති බවත් මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි.

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇති බවයි බුද්ධි අංශ විසින් පෙන්වා දී ඇත්තේ.

මේවට ඉඩ තියන්න බෑ

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද උපදෙස් ලබාදෙනු ලැබුවා.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇත. 

එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම්

ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර ඇත. හදිසි ඕනෑම අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කෙරුණි. එම නිසා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමුකිරීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂඥ  කමිටුව සමඟ ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබුවා.

ඇමැතිවරුන්ට ජනපතිගෙන් උපදෙස්

රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන් සෘජුව මැදිහත් වන ලෙසට ද මෙහිදී ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දෙවන එන්නත ඕනෑම තැනකින්

දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය කෙරුණා. වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇත.

තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් වුවත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කණගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දුන්නේ. 

Rate this item
(3 votes)
Last modified on Sunday, 08 August 2021 14:36

Related items