May 10, 2024

පාඨලී දෙබරෙට ගල් ගහයි: පොදු විපක්ෂයේ නායකකමට නමක් යෝජනා කරයි

විපක්ෂයේ  එකමුතුවක් සඳහා වන සාකච්ඡා මාලාවක ආරම්භය ඉකුත් ජූලි 17 වැනිදා සිදු වුණේ හිටපු කථානායක කරු ජයසූරිය ආරාධනයෙන් හා ප්‍රධානත්වයෙන්.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කරු ජයසූරිය මහතා මූලිකත්වයගෙන සංවිධානය කළ මෙම සමුළුවේදී සමගි ජන බලවේගය නියෝජනය කරන නායකයින්ද අදහස් පළ කළා.

පාඨලීගේ මතය

එහිදී සමගි ජන බලවේගය තුළ යම් මත ගැටුමක නිරතව සිටින පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පළ කළේ අන් අයට වඩා වෙනස් වූ අදහසක්.

එහිදී ඔහු ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට නායකත්වය දීමට සුදුසුම පුද්ගලයා ලෙස හඳුන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා නොව කරූ ජයසූරිය මහතායි.

පොදු විපක්ෂයේ නායකත්වයට සුදුස්සා

එම හැඳින්වීම රණවක මන්ත්‍රීවරයාගේ වචන වලින්ම කියනව නම් "ජනතාව දිනෙන් දින පෙලන මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය එකමුතුව පෙළගැසිය යුතුයි.ඒ සඳහා නායකත්වය දෙන්න සුදුසුම කෙනා කරූ ජයසූරිය මහතායි."

ඒ සඳහා හේතු සාධකද පෙන්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දින 52 ආණ්ඩු පෙරලිය වෙලාවේ කරු ජයසූරිය මහතා දක්වපු විශිෂ්ට නායකත්වයයි.

ඉදිරි ගමන යා යුත්තේ කෙසේද

මේ නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වටා එකතුව අපි ඉදිරියටම යමු කියා තමා යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සමුළුව හමුවේ දැනුම් දුන්නා.

රණවක මන්ත්‍රීවරයා පොදු විපක්ෂයේ නායකත්වයට කරු ජයසූරිය මහතා සුදුසු බව මෙන්ම අනෙකුත් කාරණාද ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපිටදීමයි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගය තුළ නිසි වගකීමක් නොපැවරීම සම්බන්ධයෙන් රණවක මන්ත්‍රීවරයා මුල්කොටගෙන එම පක්ෂය තුළ යම් මතභේදාත්මක තත්ත්වයක් ගොඩනැගී තිබෙන බව ප්‍රකට කරුණක්.

Rate this item
(7 votes)
Last modified on Tuesday, 20 July 2021 07:14