May 17, 2024

ඇමැති බැසිල් සහන දෙන්න සූදානම්!

රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය දී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදීය.

කිහිපවතාවක් රට වසා දැමීම නිසා දේශීයවත් විදේශීයවත් රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිරව ඇතැයි පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා, රජයටත් ජනතාවටත් මුදල් ගලා ඒමේ ක්‍රමවේද සක්‍රිය වීමට නම් හැකි ඉක්මණින් රට විවෘත විය යුතු බවද එහිදී කියා සිටියා.

යුද්ධය පවතින අවස්ථාවේ රටේ පැවතියේ ඩොලර් බිලියන 1.2 ක සංචිතයක් පමණක් බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා වර්තමානයේ බිලියන 4 ක පමණ සංචිතයක් පවතින හෙයින් නිසි කළමනාකරණයක් තුළින් වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ හැකියාව පවතින බවයි.

සියල්ල සූදානම්

ඩොලරයේ මිල ඉහළ යෑම කෙරෙහි බොරු ප්‍රචාර බලපා ඇතැයි පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා සූදානම් බව ද අවධාරණය කළා.

මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඉටුකරන අතරේ පක්ෂයේ වගකීම්ද නොපිරිහෙලා ඉටු කිරීම සිය අභිප්‍රාය බව සඳහන් කළ අමාත්‍යවරයා විපක්ෂ නායකකම හෝ නොමැති අවස්ථාවක පක්ෂයක් නිර්මාණය කර ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වූයේ එකමුතුකම නිසා බව ද වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සහ ඒ සඳහා බලපා ඇති ගැටලුකාරි තත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර පළාත් පාලන ආයතන ප්‍රධානීන් තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදි  මුදල් අමාත්‍යවරයා දැනුවත් කළා.

Rate this item
(0 votes)