May 12, 2024

ජංගම එන්නත්කරණ සේවාවක්! රැකියා කරන අයට තවත් සහනයක්

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතිනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළා. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු පෙන්වා දී තිබෙනවා. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබෙනවා. 

ඕනෑම ස්ථානයකින් එන්නත ගන්න පුළුවන්

ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළා. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දී තිබෙනවා. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

Rate this item
(0 votes)

Related items