May 11, 2024

ජනපති කාර්යාල භූමියේ පැවැති උද්ඝෝෂණයට ජනපති දැක්වූ ප්‍රතිචාරය

විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධත‍ාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවී තිබුණා.

මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව එහි සිටි වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කළා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු නිරෝධායන කඳවුරුවල රඳවා සිටින වාත්තීය සමිති නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙසත් නිරෝධායන මුවාවෙන් සිදුකරන මර්ධනය නතරකරන ලෙසත් ඉල්ලා 'ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වාත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' කොළඹ ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ සදහා වූ වෙන් කළ ස්ථානයේ රැස්වී පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ඔවුන්ට බාධාවකින් තොරව එම කාර්යාල භූමියට ඇතුළුවී‍මේ අවස්ථාව හිමිවී තිබුණා.

වෙනත් දිනවල විරෝධතාකරුවන්ගේ ගමනට බාධා කරමින් යොදවන මාර්ග බාධක, පොලිස් වැටවල් යොදා නොතිබූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාවය විමසා සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බව දැනුම් දී තිබෙනවා.

ඉන්පසු විරෝධතාකරුවන් විරෝධතා බැනරයක් ද රැගෙන ජනාධිපති කාර්යාල භූමියට ඇතුළු වී එහි අමුත්තන් ඇතුළු කරගන්නා ස්ථානය දක්වාම පැමිණි අතර එතැනදී පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ට සංදේශයක් භාරදීමේ අවස්ථාව ද උදා කරදෙනු දක්නට ලැබුණා.

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා ද විරෝධතාකරුවන් අසලදී තම රථයේ වීදුරුව පහත් කර ඔවුන්ට අත වනමින් ගමන් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එම කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී එම නිලධාරීන් සමඟ ඉන් පිටතට පැමිණ ඔවුන් වෙත සිය සංදේශය භාරදුන් අතර වෘත්තීය සමිති නායකයින් වන සමන් රත්නප්‍රිය, වසන්ත සමරසිංහ, ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙයට සහභාගී වී තිබුණා.

Rate this item
(1 Vote)

Related items