May 12, 2024

විශ්ව විද්‍යාල උද්ඝෝෂකයන්ට ජනපති දුන් උපදෙස

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පොරොන්දුවක් වන “පුරවර විශ්ව විද්‍යාල” සරසවි ක්‍රමය පළමු සරසවිය වන කෑගල්ල, පින්නවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සරසවියේ ආරම්භක කටයුතු ඊයේ (15) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම උත්සව අවස්ථාවෙන් අනතුරුව පැමිණි සිට පිරිස අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබාගත් පසුව බොහෝ දෙනෙක් රැකියාවන් සඳහා රජය දෙස බලා සිටින බවයි. 

ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ රජයක් යනු රැකියාවන් දෙන ස්ථානයක් නොවන බවත් රජයක් යනු රැකියාවන් නිර්මාණය කරන ස්ථානයක් බවට පත්විය යුතු බවයි.

විශ්ව විද්‍යාලය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවාට තමන්ද විරුද්ධ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා. 

රජයේ නොවන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපනය මුලික කරගත් විශ්ව විද්‍යාල දියුණු කිරීමට අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. එසේ නොකළහොත් රජයට මෙරට සම්පුර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවගේ අවශ්‍යතාවයන් සපුරා දීමට නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

“අපි උසස් අධ්‍යාපනයක් ලැබීමට හැකියාව තියෙන කැමැත්ත තියෙන සෑම තරුණයෙකුටම ඒ අවස්ථාව දෙන්නට ඕන.. කොතලාවල විද්‍යාපීඨය අද ප්‍රශ්නයක් කරගෙන තියෙනවා.  එහි මූලික අරමුණ තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනිමේ දී දැනුම අධ්‍යාපනය ලබාදෙන්න. මම ආරක්ෂ ලේකම්වරයා ලෙස සිටි කාලයේ දී වෛද්‍ය පීඨය ආරම්භ කළා.. ඒ අවස්ථාවෙත් විශාල විරෝධයන් ආවා..මම ඒ අය ගෙන්නලා සාකච්ඡා කළා.. ඇයි ඇහුවා ඔබතුමාලා මේකට විරුද්ධ වෙන්නේ.. මම කිව්වා අපි, ඔබතුමන්ලා විශ්ව විද්‍යාවලට Z ස්කෝර් අනුව තෝරගෙන ඉතුරු වෙන අයගේ පහළම මට්ටමේ ඉඳලා අපි ගන්නම්.. ඒකට එකඟ වුණා..” යනුවෙන්ද සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ජනපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ කොතලාවල වෛද්‍ය පීඨය මෙරට අනිකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන් මට්ටමේ හෝ ඊටත් වඩා හොඳ මට්ටමේ පවතින බවයි. මෙම පනත ගේන එමට ප්‍රමාද වූ බවද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ අතර ප්‍රායෝගිකව ඇති දෙයක් ව්‍යහුගත කිරීමට උත්සාහ කිරීමේදී ඒවාට විරුද්ධව කිසිදු අවබෝධයකින් තොරව විරෝධය පාන බවද ඔහු පැවසුවා.

ශීෂ්‍ය සංවිධානවලින් විය යුත්තේ පාරේ ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම නොවන බවත් මෙම විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කරන්නේ කෙසේද යන්නත්, එවා වඩාත් සුදුසු අන්දමට පවත්වාගෙන යන්න පුළුවන් කොහොමද, අදට අවශ්‍ය වන විෂය පථයන් සකස් කරගන්නේ කොහොමද යන්න පිළිබඳව කතා කිරීම බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)

Related items