May 17, 2024

බැසිල්ට ලැබුණු පුටුව හරිම පුටුවලු

මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ නව මුදල් ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා වෙතයි.

ඒ නිසාම ඔහු සම්බන්ධයෙන් ලියැවෙන පුවත්ද බොහෝයි.

කැබිනට්ටුවේ අසුන් ගත් තැන

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු පළමු වරට ඉකුත් සඳුදා කැබිනට් මණ්ඩල රැස්වීමටද බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වුණා.

එහිදී අසුන් ගත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ළඟ අසුනේ.

මේ නිසා මෙතෙක් කල් අග්‍රාමාත්‍යවරයා ළඟ අසුන් ගෙන සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයාට වෙනත් අසුනකට යෑමටයි සිදුවුණේ.

මේ සම්බන්ධයෙන් එම කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වූ ඇතැම් ඇමතිවරුන් එළියට විත් විවේචනාත්මකව කතා කර තිබෙනවා.

ඒ ගැන තිබූ විවේචන

කැබිනට් මණ්ඩලයේ අසුන් පනවන්නේ ජේෂ්ඨත්වය අනුව බැවින් මේ සම්බන්ධයෙන් සමාජයේ ද බොහෝ කතා ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතාට ලැබුණු අසුන සිය මුදල් අමාත්‍යය ධූරයට හිමි නියමිත බවයි.

කැබිනට් සම්ප්‍රදායට අනුකූලයි

කැබිනට් මණ්ඩල සම්ප්‍රදායට අනුව අග්‍රාමාත්‍යවරයා ළඟම අසුනේ අසුන් ගන්නේ මුදල් ඇමතිවරයායි.

ඒ කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ඉදිරිපත් කරන අති බහුතරයක් කැබිනට් මණ්ඩල පත්‍රිකා මුදල් අමාත්‍යාංශය හා බැඳී තිබෙන බැවින්.

ප්‍රමුඛ අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය

මේ නිසා ඒ කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් ජනපතිවරයාට ඉතා නිරවුල්ව හා පැහැදිලිව අදහස් දැනගැනීම සඳහා මුදල් ඇමතිවරයාව අග්‍රාමාත්‍යවරයා අසලින්ම වාඩි කරවා ගැනීම බොහෝ කලක පටන් අනුගමනය කරන සම්ප්‍රදායක්.

යහපාලන ආණ්ඩු සමයේ මුල්ම මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායක මහතාට අසුන් පනවා තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යාබද අසුනයි.

ඉන්පසු මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා වූ විට ඔහුටද ලැබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟ අසුනයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 July 2021 12:03