May 12, 2024

අගමැතිකම බැසිල්ට - මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම ජනපති අතට

බැසිල් රාජපක්ෂ මහතා අගමැති ධූරයට පවා පත්විය හැකි බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ඉඟියක් පළ කරමින් අදහස් දක්වා තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක්ද බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිටින බවද ඔහු පවසා සිටියා.

ඊයේ (28) පෙරවරුව වෙන විටත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කර තිබුණේ නැහැ. මේ අතර පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙහිවල පිහිටි ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ නිවසේ රහස් සාකච්ඡාවක් පවත්වා තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා කෙසේ හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුත්ත සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තුවේ බහුතරය එකසිය දහතුනක් ඇත්නම් කෙනෙකුට අග්‍රාමාත්‍ය ධූරයට පවා පත්විය හැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා පවසා සිටිනවා.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ මන්ත්‍රීවරුන් එකසිය දහතුනකට වඩා පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාව නැවත පාර්ලිමේන්තුවට එවන්න යැයි කියා ජනාධිපතිවරයාට ලියුමක් ලබාදී තිබෙනවා කියලයි.

එම ලියුම ජනාධීපතිවරයාට භාර දුන්නේ තමන් බවද ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසා සිටියා.

කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් එම ඉල්ලීම කළ බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී.

මේ අතර මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දරන අග්රාමාත්ය ධුරය ලබා ගැනීමට උත්සාහ කරනු ඇති බවයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 June 2021 23:16