May 12, 2024

ජනපති දැඩි තීන්දුවක! මහා සංඝරත්නය සමඟ සාකච්ඡාවක්

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය. එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දී තිබෙනවා.

ඊයේ (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළා.

එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර තිබෙනවා.

කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මහා නායක හිමියන් දැනුවත් කළ බව එම මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර තිබෙනවා.

මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ. අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැදැක සුවදුක් විචාළේය.

උන්වහන්සේ ද ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ආශිර්වාද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක උන්වහන්සේ සමග ද සුහද කතා බහක නිරත විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා රජයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුවත් කළා.

Rate this item
(0 votes)

Related items