May 14, 2024

"කොච්චර ජාතිය ඇමතුවත් වැඩක් නෑ" - මුරුත්තෙට්ටුවේ හිමිගේ රතු ඉර පනියි

හැට නම ලක්ෂයම කලකිරිලා

ජනතාව මේවන විට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බව ද, එම කලකිරීම සුබවාදී අතකට නොහරවා කොතරම් ජාතිය ඇමතුවත් පළක් නොවන බව ද අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (25) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) දින රාත්‍රී 8.30ට ජාතිය අමතන බවට පැය ගණනාවකට පෙර ප්‍රකාශයට පත්ව තිබූ අතර එවන් පසුබිමක දී අද දිනයේම ආනන්ද හිමියන් මෙවැන්නක් ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හැට නම ලක්ෂයක් ඡන්දය පළ කළේ විශාල බලාපොරෝත්තුවක් ඇතිව බව පෙන්වා දෙන උන්වහන්සේ පැවසුවේ අදවන විට සියළුදෙනාම සිටින්නේ ඉච්ඡාභංගත්වයෙන් බව යි.

එදා ගොවියාට පොහොර නොමිලයේ ලබා දෙන බවට පැවසුව ද අදවන විට මුදලට හෝ මිලට ගැනීමට පොහොර රට තුළ නොමැති බවට යි උන්වහන්සේ චෝදනා නැගුවේ.

තෙල් මිල රංගනය කුමන්ත්‍රණයක්ද?

බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව ද උන්වහන්සේ අදහස් පළ කළ අතර එහි දී උන්වහන්සේ පවසා සිටියේ බැසිල් මහතා පැමිණි පසු තෙල් උල්පතක් මතුවන අයුරින් ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරන බව යි.

බැසිල් රාජපක්ෂ මහතාට තෙල් මිල අඩු කිරීමේ හැකියාව පවතින්නේ නම් එය බොහොම හොඳ නමුත්, එය එසේ සිදුවුවහොත් මේ පිටුපස තිබූයේ කුමන්ත්‍රණයක් බවට පැහැදිළිවන බව යි ආනන්ද හිමියෝ පෙන්වා දුන්නේ.

එසේත් නොමැති නම් බැසිල් රාජපක්ෂ යනු විශ්වකර්මයෙක් විය යුතු බව ද උන්වහන්සේ පවසා සිටියා.

ආයෙ ඉවසන්න බෑ!

මේවන විට තමන්වහන්සේ ඇතුළු පිරිසගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යමින් තිබෙන බව පවසන ආනන්ද හිමියන් අවධාරණය කළේ තවදුරටත් ඉවසීමට ගියහොත් නිවටයින් බවට පත්වන බව යි.

“දැන් අපි ඉවසුවා ඇති. තවදුරටත් ඉවසන්න ගියොත් අපි මහා නිවටයෝ බවට පත්වෙනවා. භික්ෂූන්වහන්සේ කියන්නේ සිංහයෙක් කියලයි බුදුන්වහන්සේ පැහැදිළි කළේ. අපි නිවටයෝ වෙන්න කැමති නෑ”

චීන්නු ගෙන්නුවේ කවුද?

මේ අතර මේවන විට මෙරට බොහෝ ස්ථාන විකිණීමට පටන්ගෙන ඇති බව ද උන්වහන්සේ පවසා සිටිනවා. 

අනාගතයේ දී ඉර හඳ පවා විකුණයිදැයි තමන්වහන්සේ නොදන්නා බව ද උන්වහන්සේ උපහාසයෙන් යුතුව ප්‍රකාශ කළා.

වරාය නගරය පිළිබඳව ද එහි දී සිහිපත් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවේ මේවන විට චීන පිරිස් තිස්සමහාරාමයේ වැව් ද හාරමින් සිටින බව යි.

මෙම පිරිස් නිල ඇඳුම් ද පැළඳ සිටින බවත්, ඔවුන් කාගේ අවසරය පිට පැමිණියේදැයි නොදන්නා බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක දී අමෙරිකානු යුද නෞකා පැමිණ ආයුධ සන්නද්ධව නැංගුරම්ලා සිටින බවට ආරංචි ලැබෙමින් තිබෙන බව ද ආනන්ද හිමියන් අනාවරණය කළා.

ජනතාවටත් ඉල්ලීමක්

පාලකයෝ කෙරෙහි තුට්ටුවක විශ්වාසයක් නැති තැනකට අද රට පත්වී තිබෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මේවන විට ආණ්ඩු පාර්ශවයේ සිටින එකදු මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට මීලඟ මැතිවරණයක දී ගමට යාමට නොහැකි බව ඉතාමත්ම පැහැදිළි කරුණක් බව ද ආනන්ද හිමියන් අවධාරණය කර සිටියා.

එමෙන්ම මෙම පිරිස යළි පාර්ලිමේන්තුවට පත් කිරීමට කටයුතු නොකරන ලෙසට ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 June 2021 21:08

Related items