May 16, 2024

සමාගම් වලටත් වඩා ඇමතිගේ ගෑස් මිල නැගලා Featured

මෙරට ගෑස් ව්‍යාපාරයේ නියැලී සිටින සමාගම් දෙක මිල වැඩි කිරීමක් ඉල්ලා සිටින ගානටත් වඩා වැඩියෙන් මිල වැඩි කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යෝජනා කර තිබීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී තිබෙන්නක්.

විෂය භාර අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ යෝජනා කරන්නේ ගෑස් සමාගම් දෙක ඉල්ලන මිලට වඩා පිළිවෙලින් රු. 120ක සහ 160 ක වැඩි වීමකි.

තමන්ගේ ඉල්ලීමට මෙතෙක් හේතු නොදැක්වීම

සමාගම් ඉල්ලන මිලටත් වඩා වැඩියෙන් ගෑස් මිල වැඩි කරන ලෙස ඉල්ලීමක් කිරීමට හේතු කුමක්ද යන්න ජනතාවට හෙළිදරව් කිරීම අමාත්‍යවරයාගේ යුතුකමක් හා වගකීමක් වුවද අමාත්‍යවරයා තවමත් එය ඉටු කොට නොමැත.

ගෑස් වෙළඳ පොළේ පොළේ 70% කට වැඩි කොටසක් හිමි රජය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 580 කින් මිල වැඩි කිරීමට ඉල්ලා සිටින අතර ගෑස් වෙළඳ පොලේ 30% කට ආසන්න කොටසකට හිමිකම් කියන ලාෆ් ගෑස් සමාගම ඉල්ලා සිටින්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු. 540කින් වැඩි කරන ලෙසයි.

එහෙත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඒ ඉල්ලීම් වලටත් වඩා වැඩි මිලකින් ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙසයි තම අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික සේවා අධිකාරියට යෝජනා කොට තිබෙන්නේ.

තමන්ගේ යෝජනාව තමන් යටතේම ඇති අධිකාරියට

තමාගේ මෙම යෝජනාවට පවා තවමත් එම අධිකාරියේ ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරමින් ගුණවර්ධන අමාත්‍යවරයා දෙන්නේ අමුතු ආකාරයක පිළිතුරක්.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට ගෑස් මිල ද ඉතා නුදුරේම ඉහළ යෑමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 13 June 2021 08:51