May 11, 2024

ඉදිරි තීන්දුව ගැන පාඨලීගෙන් සජිත්ට අනතුරු ඇඟවීමක්

තමන් ඉදිරියේ දී ගන්නා දේශපාලන තීන්දුව තීරණය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ සහ සමගි ජන බලවේගයේ හැසිරීම මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව පැවසූයේ අද පැවැති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

තමා ඇතුළු පිරිස සමගි ජන බලවේගය සමග එක් වූයේ, 2019 වසරේ දී තිබූ හොඳම විකල්පය එය නිසා බව ඔහු පවසනවා.

ඉදිරියේ දී සිය දේශපාලන ස්ථාවරයේ වෙනසක් සිදුවේ ද නැද්ද යන්න පිළිබඳ තමාට හෝ වෙනත් කිසිවෙකුට පැවසිය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේ දී ද එයට ඍජුව පිළිතුරු නොදුන් පාඨලී චම්පික රණවක මහතා පිළිතුරු ලබා දුන්නේ ජනාධිපතිවරණය මේ අවස්ථාවේ නොමැති බැවින් ඒ පිළිබඳව කතා කිරීමෙන් පළක් නොමැති බවයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හොර රහසේ මඩ ගසන බවට තමන්ට එල්ලවන චෝදනා ද රණවක මහතා දැඩිව ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම 2019 වසරේ දී කතා කළාට පසු තමන් රනිල් වික්‍රමසිංහ මහතා සමග කතා කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

"ඔබතුමා අමුතු සිහින දකින්නේ" ද යනුවෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

"මම සිහින දකිනවා. පවුල්වාදයට උරුමවෙලා තියෙන මේ දේශපාලනේ මේ රටේ නිපුණතාවය, හැකියාව තියෙන පරපුරට උරුම කරගැනීම සඳහා මම සිහින දකිනවා"

Rate this item
(0 votes)