May 17, 2024

තෙල් සංස්ථාවත් ඈවරයි! ජනපතිගේ තීන්දුවට පිටුපා බලශක්ති ඇමති තනි මතයක

රටේ ජාතික සම්පතක් වූ තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය බලශක්ති ඇමතිවරයා අතට ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා.

විජිත හේරත් මහතා මේ බව පැවසූවේ ඊයේ (09) බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ගම්මන්පිල ඇමතිවරයා ගේන මේ කැබිනට් පති‍්‍රකාවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයටත් පරස්පර විරෝධී බවත් ලෝකයේ අද වෙනකොට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත‍්‍රයට මාරුවෙමින් තිබුණද ගම්මන්පිල ඇමතිවරයා අවුරුදු 20 කාලයකට බහුජාතික සමාගමකට තෙල් සංස්ථාව පවරා දීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ මහතා මෙසේද සඳහන් කළා.

"1987 එක්සත් ජාතික පක්‍ෂය ඉන්දියාවත් එක්ක අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමත් එක්ක ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවර දීමත් එක්ක පාවාදීම ආරම්භ කළා. එදා ඉන්දියාව රටේ ජාතික ප‍්‍රශ්නයට මැදිහත්වීමෙන් පළාත් සභා පෙන්නලා ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි ටික ලබාගන්න ඒ ගිවිසුම පාවිච්චි කළා. ඒ පළමු පාවාදීමෙන් පස්සේ 2002 වසරේදී නැවත මේ පනත සංශෝධනය කර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන්ම රජයේ තෙල් ඒකාධිකාරී බලය පුද්ගලික අංශයට පැවරීමේ මුල පිරුවා. එදා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත ගෙනත් 61 පනතේ මූලික හරය වෙනස් කළා. ඒ අනුව 61 අංක 28 දරන පනතේ 5කේ.,  5ජේ. ආදී වශයෙන් වගන්ති ගණනාවක් සංශෝධනය කළා. ඒ අනුව 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් තාවකාලික විධිවිධාන පනත සම්මත කරගත්තා. මේ ආකාරයට පනත් දෙකක් සම්මත කරගෙන අවුරුදු දෙකක කාලයක් සඳහා බලශක්ති සැපයුම් කමිටුවක් පිහිටුවා ගත්තා. 

තාවකාලික බලයක්

පවතින තත්වය නිරීක්‍ෂණය කරලා පුද්ගලික ආයතනවලට ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමේ බලය පැවරුවා. රජය සතුව තිබුණු ඛනිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරයන් පවාදීම මේ සමග ආරම්භ කළා. නමුත් මෙයින් ලැබුණේ තාවකාලික බලයක් විතරයි. අවුරුදු දෙකක් සඳහා කමිටුව පත්කළ නිසා ඒ කාලය තුළ බලපත‍්‍ර 3ක් දීමේ හැකියාව ලබාගත්තා. ඒ අනුව අයි. ඕ.සී. සමාගමට අවුරුදු 20ක කාලයක් සඳහා පමණක් බලපත‍්‍රයක් ලබාදුන්නා. මේ බලපත‍්‍රය දුන්නේ 2003දී. ඒ අනුව 2023දී අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවා. 

වර්තමානය වනවිට උදය ගම්මන්පිල මහත්මයා මේ පනතේ සංශෝධනය කරන්න යන්නේ මොනවාද? අරමුණ විදිහට පෙන්වන්නේ ”මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය” කියන සියලූ කර්තව්‍යයන් වෙනත්  ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීමටයි. කොවිඞ් සංචරණ සීමාවලට ජනතාව කොටුවී තිබියදී ගම්මන්පිල දේශපේ‍්‍රමී කඩතුරාවට මුවාවී මේ දේශද්‍රෝහී පනත් සංශෝධනය ගෙනත් තිබෙනවා. මේ අනුව ඇමතිවරයා අතට ඛනිජ තෙල් සම්බන්ධ සියලූම බලය පවරාගන්න යනවා. ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ  රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා. 

තෙල් ඒකාධිකාරය පුද්ගලික අංශයට

අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත් අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි උවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැණියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි." යැයි විජිත හේරත් මහතා සඳහන් කළා.

මේ අතර තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබාදීමට නියමිත බවත් ඊට අමතරව වෙනත්  ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබාගන්නා බවත් පෙන්වා දෙන ඒ මහතා මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලූ බලතල පුද්ගලික අංශයට දෙන අතර මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යන බවද කියා සිටියා.

"ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආයෝජන සමුලූවේදී කිව්වේ 2030 වෙනකොට ලංකාවේ බලශක්ති නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියට මාරු වෙනවා කියලා. ගම්මන්පිල ඇමතිවරයා ගේන මේ කැබිනට් පති‍්‍රකාවත්, ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයටත් පරස්පර විරෝධීයි. ලෝකයේ අද වෙනකොට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත‍්‍රයට මාරුවෙමින් යනවා. නමුත් ගම්මන්පිල ඇමතිවරයා අවුරුදු 20 කාලයකට බහුජාතික සමාගමකට තෙල් සංස්ථාව පවරා දෙන්න යනවා. අබලන් වෙච්ච අපේ පිිරිපහදුව තියාගෙන ඔය කියන ආයෝජකයත් එක්ක අපිට තරග කරන්න පුළුවන්ද? හම්බන්තොට වරායේ හදන පිරිපහදුවත් එක්ක අපට තරඟ කරන්න පුලූවන්ද? මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුළුමනින්ම අභාවයට යනවා. මේ පනත සංශෝධනය කරන්නේ එක අතක තිබෙන පෑනට බලය ගන්නයි. ඒ පෑන විකණෙන මිල අනුව, එහෙම නැත්නම් සාක්කුවට වැටෙන ප‍්‍රමාණය අනුව සියල්ල තීරණය කරන්න. රටම මෙහෙයවිය හැකි බලශක්තිය එක පෑනකට ඌණනය කිරීමයි මේ කරන්නේ. මේක ඉතාම භයානකයි. " යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 16:37