May 12, 2024

මැතිනි ජනසතු කල තෙල් සංස්ථාව රාජපක්ෂලාගෙන් යළි විදේශිකයින්ට - පාඨලී චම්පික

1960 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විදේශිකයන් සතුව තිබූ ඛනිජ තෙල් බෙදා හැරීම ජනසතු කොට ඇති කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශප්‍රේමීන් යැයි කියාගන්නා රාජපක්ෂවරුන් විදේශිකයන්ට යළි පවරා දීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ 1960 ටී.බී. ඉලංගරත්න මහතාගේ මැදිහත් වීමෙන් ජනතාව සතු කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට පාඩු ලබන්නේ අයහපත් මූල්‍ය කළමනාකරණය නිසා බවය.

රුපියල් මිලියන 600 ක පමණ ණය අර්බුදයකට මුහුණ දී සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශීය මුදල් වලින් කළ ගනුදෙනු මත ලංකා හා මහජන බැංකු වලට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 3 ක (රු. බිලියන 600) ගෙවීම් පැහැර හැරීමක් ද සිදු කොට තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

වත්මන් බලශක්ති අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම , පිරිපහදු කිරීම සහ බෙදා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයද සිදු කළ හැකි වන පරිදි ඛනිජ තෙල් නීතිගත පනත සංශෝධනය කිරීමට යෝජනා කොට තිබෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දැනටමත් සපුගස්කන්ද සහ හම්බන්තොට තෙල් පිරිපහදු 2 ක් ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ එය ඉදිකිරීම පමණක් විදේශිකයන්ට ලබා දෙන බව වුවද දැන් පෙනී යන්නේ තෙල් බෙදා හැරීමද විදේශිකයන්ට පැවරීමට සූදානම් වන බවය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඛනිජ තෙල් නීතිගත පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 May 2021 19:50