May 18, 2024

අනුරගෙන් ප්‍රබල දේශපාලන පණිවිඩයක්! දේශපාලන පරිවර්ථනය කළ හැකි අය ගැනත් හෙළි කරයි

ඔබට ප්‍රබල දේශපාලන පණිවිඩයක් දීමට තිබෙන බවත් මාතෘ භූමිය ඉතිහාසය තුළ ඇයට එල්ලවිය හැකි බරපතළම අභියෝගයකට මුහුණදී තිබෙන අවස්ථාවක් බවත් ඊයේ(01) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ අන්තර්ජාල මැයි දින සැමරුමට එක්වෙමින් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රටපුරා විසිරී ඉන්න සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත මේ පණිවිඩය ගෙනයාම සඳහා අන්තර්ජාලය මහඟු උපකාරයක් වේවි කියා විශ්වාස කරන බවත් රටේ පොදු ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට, ලැබිය යුතු සේවාවන් ලබාගැනීමට, අභියෝගකාරී තත්වයක් තිබෙන මොහොතක් බවත් කියා සිටි අනුර කුමාර මහතා මේ නිසා අපේ රටේ ජනතාව සමග අන් කවරදාටත් වඩා වැඩියෙන් කළ යුතු ප්‍රබල දේශපාලන සංවාදයක් තිබෙන බවත් ඒ සංවාදය තවත් ආකාර ගණනාවකින් ජනතාවට ගෙන යායුතු අවස්ථාවක් බවත් සඳහන් කළේය.

ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කර ගෙන තිබෙන දේශපාලනය වෙනුවට කැපකිරීම, පරිත්‍යාගය, නොපසුබස්නා උත්සාහයකින් යුක්ත ජනතාව වෙත අසීමිත ලෙස ආදරය කරන දේශපාලනයක් අවශ්‍ය බවත් මේ දේශපාලන පරිවර්තනය සිදුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් මේ රටේ ආර්ථික, සමාජ, දේශපාලන පරිවර්තනය වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතුව තිබෙන බවත් අනුර කුමාර මහතා අවධාරණය කළේය.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර මහතා මෙසේද පැවසීය.

"ජනතාව ඉදිරියේ තිබෙන ප්‍රධානතම අභියෝගය රටේ ආර්ථිකය මුහුණදී තිබෙන ගැඹුරුතම අර්බුදයයි. 1948 සිට මේ මොහොත දක්වා අවුරුදු 73ක් මාරුවෙන් මාරුවට බලයට ආ, ධනපති දේශපාලන පක්ෂ ගෙනගිය ධනපති ආර්ථික ක්‍රමය විසින් රටකට වියහැකි ගැඹුරුම ආර්ථික ව්‍යසනයකට රට පත්කර තිබෙනවා. ඒ ව්‍යසනයේ ගොදුරු බවට රටේ ගොවි, කම්කරු, ඇතුළු සියලුම ජනතාව පත්වෙමින් ඉන්නවා. ආර්ථිකයේ ගැඹුරුතම අර්බුදයන් දෙකක් තිබෙනවා. එකක් තමන්ගේ වියදම් පියවා ගැනීම සඳහා සරිලන ආදායමක් මහා භාණ්ඩාගාරයට නොලැබීම. 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේදී ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම බිලියන 1919යි. නමුත් වසර තුළ ගෙවිය යුතු ණය සහ පොලී වාරිකයේ එකතුව බිලියන 2017යි. බිලියන 198ක හිඟයක් තියෙනවා. භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනය ණය පොලී සහ වාරිකය ගෙවීමටවත් ප්‍රමාණවත් නැහැ. මේ සඳහා ආණ්ඩුවට තිබෙන පිළියම් මොනවාද? නැවත නැවත ණය ලබාගැනීම සිදුකරමින් තිබෙනවා. 2020 ආරම්භයේදී මුළු ණය ප්‍රමාණය ටි්‍රලියන 13යි. 2020 අවසන් වන විට ට්‍රිලියන 15යි. වසරකදී පමණක් ණය ප්‍රමාණය ට්‍රිලියන දෙකකින් ඉහළ ගොස් තිබෙනවා. තමන්ගේ ආර්ථිකයේ එකම උපාය මාර්ගය නැවත නැවත ණය ගැනීම බව මෙයින් පෙනෙනවා."

"දෙවැනි උත්තරය හැටියට ඔවුන් මුදල් අච්චු ගහනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ අවුරුද්දේ මාර්තු මාසය වනවිට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා. කෝටි ලක්ෂ දෙකකින් ණය ප්‍රමාණය වැඩිකර, කෝටි 83100ක් අලුතින් මුදල් අච්චුගහලා තිබෙනවා. ඊළඟට විදෙස් ණය ගෙවා දැමීමේ ගැඹුරු අර්බුදයක ගිලිලා. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 55ක ණයක්. මේ තුළ ඩොලර් 38.05ක් රජයේ විදෙස් ණය පංගුව. ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශයේ. මේ ණය ගෙවන්නේ කොහොමද? මේ නිසා විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි අර්බුදයට විසඳුම හැටියට ආණ්ඩුව නැවත නැවත විදේශ ණය ගනිමින් සිටිනවා." යැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 02 May 2021 01:00