May 12, 2024

ප්‍රශ්න අපිත් එක්ක කෙලින් කතා කරන්න: වෙන පක්ෂ අවශ්‍ය නෑ - පොහොට්ටු ඉල්ලීමට ශ්‍රීලනිපයේ එකඟතාවය නැහැ

ඉකුත් සතියේදී බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එම සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡාවේදී ශ්‍රීලනිපයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තිබෙන ප්‍රශ්න සෘජුවම කතාබස් කොට විසඳා ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අමතා ප්‍රකාශ කොට තිබේ.

පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර ඇති ප්‍රශ්න වලට පොදුජන පෙරමුණේ අන් සන්ධානගත පක්ෂ පටලවා නොගන්නා ලෙසද එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රීලනිප නියෝජිත පිරිස අමතා අදහස් ප්‍රකාශ කර තිබේ.

ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුවී තිබෙන බවද වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණේ අන් සන්ධානගත පාර්ශවයන් සමඟ තිබෙන සම්බන්ධය බිඳ හෙලීමේ අරමුණින් මෙම යෝජනාව කළ බව ශ්‍රීලනිපයේ මතය වී තිබෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා හා ශ්‍රීලනිපය අතර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ බවත් එකඟතාවයකින් තොරව එම සාකච්ඡාව අවසන් වූ බව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් එය තහවුරු කරන ලදී.

ශ්‍රීලනීපයද පොදුජන පෙරමුණේම සිටින සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විකල්ප පිලේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර මීට ටික දිනකට පෙර එම විකල්ප පිලේ නායකයින්වන විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර හා උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ශ්‍රීලනිප මූලස්ථානයේදී පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් ද පවත්වන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 April 2021 10:17