May 17, 2024

"නඩු දවසක නයා ගහපු" ඇමති රත්තරන් නඩුවෙන් නිදහස් කළ හේතුව

රෝහිත අබේගුණවර්ධන වරාය අමාත්‍යවරයාට එරෙහි අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පනවා තිබූ නඩුවෙන් අමාත්‍යවරයා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදහස් කිරීමට හේතු වූ කරුණු හෙළිදරව් වී තිබේ.

ඒ එම නඩුව මහාධිකරණයේදී ඉල්ලා අස් කරගත් නඩුව පවරා තිබූ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් සිදු වූ තාක්ෂණික දෝෂයක් නිසා ය.

අබේගුණවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් පෙන්වා දුන්නේ මෙම නඩුව මීට පෙර අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නඩුව පැවරීමේ දී සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍ය කරුණක් වන අල්ලස් හෝ දූෂණ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත් කොට නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවය.

ඒ අනුව මෙම නඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බව නඩුව පැවරු අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම අබේගුණවර්ධන අමාත්‍යවරයාව මෙම නඩුවෙන් නිදහස් වීමට හේතු විය.

2010 මාර්තු 31 සිට 2014 මැයි 31 යන සිව් වසරක කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත් රු ලක්ෂ 412 ක මුදල් හා වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වීම මත අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අභයගුණවර්ධන අමාත්‍යවරයාට එරෙහි එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.

එම නඩු කටයුත්තේ එක් අවස්ථාවකදී අබේගුණවර්ධන අමාත්‍යවරයාට නයෙකු දශ්ට කිරිම නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ සිද්ධියට සමාජයේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණි.

මේ වන විට බන්ධනාගාර ගතව සිටින රවි කරුණානායක මහතාටද එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ අතර ඔහුද එම නඩුවෙන් නිදහස් වූයේ එම නඩුවේ තිබූ තාක්ෂණ දෝෂයක් හේතුවෙනි.

වසර 8 කට ආසන්න කාලයක් විභාග කළ කරුණානායක මහතාගේ මෙම මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඔහු නිදහස් වූයේ ද අභයගුණවර්ධන මහතා මෙන් අමාත්‍ය ධුරයක් දරද්දී වීම විශේෂත්වයකි. කරුණානායක මහතා මෙම නඩුවෙන් නිදහස් වෙද්දී ඔහු යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය දරමින් සිටින ලදී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 13:21