May 20, 2024

9වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ආසන 225න් 223යි - මන්ත්‍රීධූර 2ක් හිස්

09වැනි මංගල පාර්ලිමේන්තු සැසිවාරය හෙට (20) පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත වන අතර ඒ සදහා මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

හෙට (20) පෙරවරු 9.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 09වැනි පාර්ලිමේන්තුව කැදවීම සිදුවන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක, කාරක සභා ආදී තනතුරු රැසක් එහිදී තෝරා පත්කර ගැනීමට නියමිතය.

කතානායක ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ නිල දිවුරුම සහ ප්‍රතිඥාව සිදුකර ඉන්පසු ඔවුන් විසින් පාර්ලිමේන්තු ලේඛණයේ අත්සන් තැබීමද සිදුවනු ඇත. ඉන්පසු පාර්ලිමේන්තුවේ කටයුතු මදකට අත්හිටුවා පස්වරු 3.00 ට යළි පාර්ලිමේන්තු කටයුතු ඇරඹීමට නියමිතය.

එහිදී පළමු මංගල රැස්වීම උත්සවාකාරයෙන් පැවැත්වීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කරයි.

හෙට පැවැත්වීමට නියමිත පළමු මංගල රැස්වීමෙහි පෙරහුරුවක් අද දින පැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ආචාර වෙඩිමුර, හමුදා උත්තමාචාර ආදිය මෙවර නොපැවැත්වන නමුත් අභිමානය නොඅඩුව විදහා පාමින් මෙවර සංස්කෘතියට මුල්තැනක් දෙමින් නැටුම් කණ්ඩායම් සහ බෙරකරුවන්ගෙන් හැඩවන අතර පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ ජයමංගල ගාථා ගයමින් පිළිගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (20)දින කියවීම සිදුකරන අතර ඒ සම්බන්ධව හෙට දින විවාදයක්ද පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු සභාගර්භය තුළ පෙරවරුවේ වම්පස විපක්ෂයද, දකුණු පස ආණ්ඩු පක්ෂයද වශයෙන් අසුන් ගැනීමට නියමිත වන අතර සවස් භාගයේ ජ්‍යෙෂ්ඨත්වය අනූව ආසන පිළිගැන්වෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බවත් මේ දක්වා එම ආසන වෙනුවෙන් කිසිම තීරණයක් ගෙන නැති බවත් ඉතිරි ආසන 223ම සූදානම් බවත් නීල් ඉද්දවල මහතා කියා සිටියේය.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත්වී දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම ගැසට් කර ඇති බවත්, අධිකරණ තීන්දුව මත ඒ මහතා හට ආසන පැනවීම සම්බන්ධව තීරණය කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

කෝවිඩ් මාර්ගෝපදේශ අනූව සභාගර්භය තුළ සියලුදෙනා හැසිරීම අනිවාර්ය වන අතර, මුඛ ආවරණ පැළදීම, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකළ යුතු අතර සියලුදෙනා සෞඛ්‍ය උපදේශ අනූව සෞඛ්‍යාරක්ෂිත ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු අතර කණ්ඩායම් සාකච්ඡා කිසි ලෙසකින් හෝ නොපැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)

Related items