May 14, 2024

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නෑ - ජනපතිගෙන් උපදෙස්

ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පළමු පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපතිවරයා පිළිගැනීමට මීට පෙර පැවති සැමරුම් කිසිවක් මෙවර සිදු නොවන බව වාර්තා වේ.

ඒ අනුව පළමු පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වෙන හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි මෙවර නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන ජනාධිපතිවරයා පිළිගැනීමේදී ජය මංගල ගාථා පමණක් ගායනා කිරීම සිදුවන බව එම ආරංචි මාර්ග සදහන් කළේය.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් ඇති බව වාර්තා වේ.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුගේ හැර සෙසු සියළු මන්තී‍්‍රවරුන්ගේ නම් මේ වනවිටත් ගැසට් කර අවසන් කර තිබේ. මේ දක්වා නම් කර නැත්තේ එක්සත් ජාතික පක්‍ෂයට හා අපේ ජනබල පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්තී‍්‍ර ධුර දෙක පමණයි.

ලබන 20 වනදා වනවිටත් අදාළ මන්තී‍්‍ර ධුර දෙක සදහා පත් කරන්නේ කවුරුන් දැයි ගැසට් මගින් ප‍්‍රකාශයට පත් නොවුණ හොත් එම මන්තී‍්‍ර ආසන දෙක පළමු පාර්ලිමේන්තු  සැසි වාරයේදී හිස්ව තැබීමට නියමිතව ඇත.

බන්ධනාගාරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර සහ ශිවනේෂතුරෙයි චන්ද්‍ර කාන්තන්ටද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට හැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

කෙසේවෙතත් අධිකරණයේ අවසරයක් ලබාගැනීම ඒ සදහා අනිවාර්ය වේ. අධිකරණ අවසරය ලැබුණු පසු පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගිවීමට ඔවුන්ට බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය. 

Rate this item
(0 votes)

Related items