May 11, 2024

රජය “කොරෝනා“ ගැසට් කරයි - දැන් නීතියෙන් ආරක්ෂිතයි

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බව එහි දැක්වේ.

ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිතයන් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක් කිරීම සඳහා නීතිමය පදනමක් සැකසේ.

මීට අමතරව ස්ථර තුනක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රති අපනයන වළක්වාලමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

බාර් සියල්ල වසා තැබිය යුතුයි

මේ අතර, ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළදී මත්පැන් අලෙවිසැල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්වරයා විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ, ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිවේදනයේ විධිවිධානවලට අනුවයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා අවධාරණය කළේය.

එසේ කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වන පැමිණිලි 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකියි.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 March 2020 00:13