May 13, 2024

“එක් ධූරකාලයක් ඇති..මැතිවරණ වේදිකාවට මම නගිනවා“ - පොහොට්ටුවේ සාමාජිකයෙක් බව ජනපති කියයි Featured

රට සංවර්ධනය කිරීමේදී සිදුකළ යුතු වැඩ කිරීමට තමන්ට එක් ධුර කාලයක් වුවද ප්‍රමාණවත් බවත් වත්මන් ව්‍යවස්ථාවෙන් වැඩ කිරීමට බාධා ඇතිව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (05) පස්වරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති සාකච්ඡාවේදී ය.

“අපට විතරක් නෙවෙයි බාධා තිබෙන්නේ. සාමාන්‍ය ජනතාව දැක තිබෙනවා යම් යම් දේ ඉෂ්ඨ කිරීමට ඇති බාධා. කිසිම සැලැස්මක් නැතිව කළ දේ (ව්‍යවස්ථා සංශෝධනය) නිසා ඇතිව තිබෙන බාධා අපි දැක තිබෙනවා. රට පාලනය කිරීමේදී අපහසුතාවට පත්වෙනවා. මේ දේවල් ඉවත් කර ගැනීම වැදගත්. එහෙම කළේ ඇයි කියලා මම දන්නේ නෑ. විධායකයට කරන්න අවශ්‍ය දේ කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාව එක්ක වැඩ කිරීම අපහසුයි. රාජ්‍ය පාලනය අපහසුයි. ”

මෙහිදී පුවත්පත් කතුවරයෙකු ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වැනි කරුණු ගැනත් අවධානය යොමු කරනවාදැයි විමසා සිටියේය.

“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති” යැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මහමැතිවරණයේදී පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන්නේදැයි පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මහ මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වන බවයි.
 
තමා ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කළ නිසා, මහමැතිවරණයේදී එහි රැස්වීම්වලට සහභාගී වීම ගැටලුවක් නොවන බවද තමා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ජනාධිපතිවරණයට පෙර සිට ම ලබාගත් බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)

Related items