May 14, 2024

රනිල් - සජිත් වෙන වෙනම නාමයෝජනා මණ්ඩල කැඳවයි! සජිත් පිලේ ප්‍රබලයින් ජාතික ලැයිස්තුවට රිංගන්න පොරයක් Featured

එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය මහ මැතිවරණය සඳහා වෙන් වෙන්ව නාමයෝජනා මණ්ඩල පත් කර ඇත.

ඉන් සමගි ජන බලවේගයේ නාමයෝජනා මණ්ඩලය පෙරේදා රාත්‍රියේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය නියෝජනය කරන පාර්ශ්ව සහ සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට තරගවැදීම පිළිබඳව පසුගිය සති කිහිපය පුරාම පැවති මතභේදාත්මක තත්වය තවමත් අවසන්වී නොමැත.

එවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සිරිකොතදී රැස්වි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් පත්කරගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පිරිසක් පෙරේදා පැවැති එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කර තිබුණු අතර සමගි ජනබලවේගයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ද නාමයෝජනා මණ්ඩලයක් පත්කරගෙන ඇත.

කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරල, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවිර, රවින්ද්‍ර සමරවිර, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, නීතීඥ ගුණරත්න වන්නිනායක සමඟ සන්ධාන මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබන්ඩාර මහතාද එම නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරනු ලබන අතර එම මණ්ඩලය පෙරේදා ප්‍රථම වරට රැස්ව තිබේ.

එවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හිදී පැවැත්වෙන සමුළුවකට සහභාගිවිම සඳහා පෙරේදා රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබිණි.

කෙසේ වෙතත් ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා දෙන්නේ නම් සම්මුතියකට පැමිණීමට හැකියාව ඇති බවයි.

දැනටමත් තම පක්ෂය මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇතැයි ද ඒ බව මැතිවරණ කොමසාරිස්ට ද දන්වා ඇති බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් වුවද සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ම පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කර ඇති ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එම සන්ධානයේ ප්‍රබලයින් පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් ජාතික ලැයිස්තුවට ඇතුළු වීමට සුදානමින් සිටින බව ආරංචි මාර්ග පැවසී ය.

ඊට හේතුව ලෙස දන්වා ඇත්තේ මැතිවරණ මෙහෙයුමේ භාරදූර කාර්යයන් සඳහා තමන්ට මැදිහත්වීමේදී තම ආසනවල ප්‍රචාරක ව්‍යාපෘතිය හරිහැටි කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවයි.

නමුත් ජ්‍යෙෂ්ඨයන් හැකිතාක් මැතිවරණයට තරග කර අත්‍යවශ්‍ය අය පමණක් ජාතික ලැයිස්තුවට ඇතුළු කළ යුතු බව එහි බොහෝ පිරිසකගේ මතය වී ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items