May 15, 2024

එජාප අර්බුදය මඟ හැර රනිල් රට යයි! කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සජිත් ඇතුළු බහුතරය නෑ Featured

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට බොහෝ පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ.

මේ අතර එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් විසින් වර්ජනය කර තිබේ.

මෙහිදි ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමටත්, එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි ජනබලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඉදිරි මැතිවරණය සඳහා ගොඩ නගන සන්ධානය දුරකතනය ලකුණින් තරග කළ  යුතු බවට යෝජනාවක් පැමිණියත් එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ වී නොමැති බව වාර්තා වේ.

පක්ෂයේ සමගිය වෙනුවෙන් තමන් මහ ලේකම් ධුරය අත්හැරීමට අදාළ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් බව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

“මේක කොහෙන්හරි ඉවර වෙන්න ඕන. කවුරු හරි මේකට බිලිවෙන්න ඕන. මහලේකම් ධුරය දරණ කෙනා ඉවත් වෙන්න තීරණය කර තිබෙනවා නම් ඕනෑම කෙනෙක් පත්කරන්න අයිතිය තිබෙනවා.” යැයි අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් දුරකථනය ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කරන බව සමගි ජනබලවේගය පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 March 2020 10:43

Related items