May 13, 2024

MCC ගිවිසුම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

February 28, 2020

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් MCC ගිවිසුම ජාතියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අහිතකර වගන්ති මෙම ගිවිසුම තුළ අන්තර් ගත වී ඇතැයි අතුරු කමිටුව විසින් කළ නිර්දේශ මත මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම තීන්දුව ගැනීම සඳහා මීට පෙර පත් කර තිබු, අතුරු කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව මුලික  කරුණු කීපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය‍.

ඒ අනුව විනිවිඳභාවයෙන් තොරව ප්‍රසිද්ධියේ මහජනතාවට දැනගත හැකි ආකාරයෙන් අත්සන් කිරීමට කටයුතු නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතිවට අහිතකර වගන්ති මෙම ගිවිසුමේ අන්තර් ගතව තිබීම, ජාතික ආරක්ෂාවට හා ජාතික, ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික කටයුතුවලට අහිතකර බලපෑම් ‌ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත් වීම, රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් පැවතීම යන කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමුව තිබේ.

මෙවැනි කරුණු කීපයක් හේතුවෙන් මෙම ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය.

මෙම ගිවිසුමේ ඇතිදේ හානි කර වගන්ති නොමැතිව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් බවත් මෙම ගිවිසුම ඇමෙරිකාව විසින් සකස් කර ඇති ගිවිසුමක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ අභිමතය පරිදි සකස් කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ පවතින ප්‍රාග්ධන හිඟය යටතේ ඕනෑම මිත්‍ර රටකින් සහනාධාරයක් හිමි වන්නේ නම් එය ලබා ගැනීමට සුදානම් බවත් මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති සංශෝධනයට ඇමෙරිකාව එකඟත්වය පළ කරන්නේ නම් ඒ අනුව මෙය ඉදිරියට සිදු කිරීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)