April 30, 2024

විදේශ සේවා හිටපු සභාපති ලක්ෂ 221ක සුපිරි රථයක් ගෙන්වලා - මාසික වාරිකය ලක්ෂ 4යි

February 20, 2020

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය වී ඇත.

මෙම අනාවරණය සිදුවූයේ විදේශසේවා නියුක්ති කාර්යංශය පෙරේදා (18) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවට වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපෙරොත්තු වන බවත්ය.

මෙයට අමතරව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් පවත්වාගෙන යන කුවේට් රටේ සේවා නියුක්තිකයන් සඳහා තමා සේවය කරන රටෙන්ම වන්දි ලබා ගැනීමට හැකි ලෙස ආරම්භ කර ඇති නව රක්ෂණ ක්‍රමය මගින් රක්ෂණ ප්‍රතිලාභීන්ට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමි වන ප්‍රතිලාභයට වඩා ඉතා වැඩි ආදායමක් අදාල විදේශීය රක්ෂණ ආයතනයට හිමි වන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වි ඇත.

මෙම රැස්වීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයන් වන අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, ඩී,වී, චානක, රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගම යන ආයතන වල නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා තිබිණි.

Rate this item
(0 votes)