May 20, 2024

මීතොටමුල්ලේ පළමු වගඋත්තරකරු රාජපක්‍ෂ ආණ්ඩුවයි

මීතොටමුල්ලේ අද තියෙන්නේ රාජපක්‍ෂලා ගොඩගහපු කුණු බවත් ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙවූ බවත් ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(20) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී විජිත හේරත් මහතා මෙසේද පැවසී ය.

“රාජපක්‍ෂලා ගොඩගහපු කුණු තමයි අද මීතොටමුල්ලේ තියෙන්නේ.  ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙව්වා. මෙහි පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රාජපක්‍ෂලා ගොඩගහපු කුණු පවත්වාගෙන ගියා. මෙම කුණු ප‍්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම විද්‍යාත්මක විසඳුම් යොදාගෙන තිබෙනවා. සමාජවාදී කියුබාව, මෙම විසඳුම් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් ඩෙංගු මර්දනය කළා. ළදරු පාසැලේ සිට වැඩිහිටියන් දක්වා කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කරනවා. දිරාපත්වන කුණු, දිරාපත් නොවන කුණු වෙන් කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි. පාසැල් තුළ විෂය නිර්දේශවලට කසල ප‍්‍රතිචකී‍්‍රයකරණය පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතුයි. ඊට සමගාමීව ආණ්ඩුව කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණයට යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි. මේ කරුණු දෙකම එකතු වන විට තමයි සැබෑ උත්තරයක් ලැබෙන්නේ.“ 

ඇමතිවරු කඹ අදිනවා

“අද මහ ඇමතිවරු, ආණ්ඩුවේ ඇමතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ  ඇමතිවරයා මෙගා පොලිස් ඇමතිවරයාට වගකීම පවරනවා. බි‍්‍රතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය චම්පික රණවක ප‍්‍රතික්‍ෂේප කළා කියලා මහ ඇමති කියනවා. ඇමතිවරු කඹ අදිනවා. මහ ඇමති එකක්, මෙගා පොලිස් ඇමති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම් 108ක් ඉල්ලූම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැබෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. මීතොටමුල්ලට විතරක් නෙවෙයි බ්ලූමැන්ඩල්වලටත් වුණේ එකම දෙයක්. මේ ප‍්‍රදේශවල පමණක් නොවෙයි රටේ විවිධ ප‍්‍රදේශවල කුණු ප‍්‍රශ්නය උග‍්‍ර වෙමින් තිබෙනවා. කුණු මාෆියාව නිසා උත්තර හොයන්න බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව තමයි මේ මාෆියාව පරද්දලා විසඳුම් දෙන්න  ඕන. නමුත් මේ ආණ්ඩු අවුරුදු 69ක් තිස්සේ කළේ එකිනෙකාට බැන ගන්න එකයි කඹ අදින එකයි විතරයි.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය. 

 

Rate this item
(0 votes)